Saturday, July 31, 2021

ජීවිතය

 


                             අවසාන මොහොත දක්වා
                             හුස්ම ගන්න 
                             හේතුවක් හොයන 
                             දිග කතා පොතකි 

ආදරය

 



                              Love is like a cloud
                              Love is like a dream 
                              Love is I word and
                              Eveything in between 
                              Love is a fairytale
                              Come true.....

                       ආදරේ වලාකුළක් වගේ 
                       ආදරේ හීනයක් වගේ 
                       ආදරේ කියන්නේ හැමදේම තියෙන 
                       එකම එක වචනයක්
                       ආදරය සුරංගනා කතාවක්
                       දවසක හැබෑවෙන......



සිංහල නට්‍ය කලාවේ සම්භවය

       

සිංහල නාට්‍ය කලාවේ සම්භවය පිළිබඳ පර්යේක්ෂණවල නිරත වන ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ ලංකාවේ දියුණු නාට්‍ය කලාවක් නොතිබුණු බව යි. විශේෂයෙන් ම මේ සඳහා ප්‍රධාන කාරණා දෙකක් හේතු කාරණා වූ බව ඔවුන්ගේ මතය වේ. පළමුව ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය නාට්‍ය කලාවට ආරම්භය සඳහා අවශ්‍යය පසුබිම සකස් නොවුනු බවයි. දෙවනුව මෙරට ජනයා ශාන්තිකර්ම ඔස්සේ නාට්‍ය රසය ලැබුණු නිසා නාට්‍ය කලාවක අවශ්‍යතාවයක් නොදැනුන බව යි. 

උඩරට, පහතරට, සබරගමුව ප්‍රදේශයන්හි පැවැති ශාන්තිකර්ම ආශ්‍රිතව නාට්‍යමය පෙළපාලි දැකිය හැකිය. උඩරට කොහොඹා කංකාරියේ හමුවෙන ගුරුගේ මාලාව, යක්කම් ගබඩා කොල්ලය ආදී පෙළපාලිවලත්, පහතරට රට යැකුමේ නානුමුරය, දරු නැළවිල්ල ආදී පෙළපාලිවලත්, දහඅට සන්නියේ බොහෝ පෙළපාලිවලත් නාට්‍යමය ලක්ෂණ දැකිය හැකිය. එකී පෙළපාලි ඔස්සේ නාට්‍ය රස විඳි නිසා සිංහලයාට නාට්‍ය කලාවක අවශ්‍යතාව නොදැනෙන බව එක් මතයකි.

ලක්දිව දියුණු නාට්‍ය කලාවක් සම්භවය නොවන්නේ බුදුදහම නිසා යැයි මතයක් පවතී. මෙකී මතය ඉදිරිපත් කළ විද්වතුන් අතර මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රමුඛයෙකි. සිංහල නාට්‍ය පිළිබඳව දේශීය වශයෙන් පුරෝගාමීව කටයුතු කළ විද්වතුන් අතර සරච්චන්ද්‍රයන්ගේ  ප්‍රධානත්වය හිමිවේ. ඔවුන් ඒ සම්බන්ධව ඉදිරිපත් කළ පර්යේෂණ ග්‍රන්ථය 1952 දී  the folk drama of ceylon යනුවෙන් ඉංග්‍රීසියෙන් පළවන අතර එය 1968 දී "සිංහල ගැමි නාටකය" යනුවෙන් සිංහලයට පරිවර්තනය විය. එහි සිංහල නාට්‍ය කලාවේ උපත පිළිබඳ මෙසේ පවසයි. 

" ලෝකයේ වෙනත් රටවල මෙන්ම ලක්දිව ද නාට්‍ය කලාවේ උපත සෙවිය යුත්තේ ලාංකික ආගමේ වන්දනාමාන, පූජෝත්සව සහ යාගහෝම ආදී යැයි සිතීම යුක්ති යුක්ත ය. එහෙත් මේ ප්‍රශ්නෙ ටිකක් ගැටලු සහිත එකක් වන්නේ ලාංකික ආගම යනු කුමක්ද කියා මනාසේ විග්‍රහකොට බැලීමට සිදුවෙන බැවිනි. ලාංකික ආගම බුද්ධාගමයි ඉඳුරා පිළිතුරු දීම අපේ පර්යේෂණය සඳහා ප්‍රමාණවත් නොවන බව පෙනේ. මක්නිසාදයත්, බුද්ධාගමේ මුහුණුවර  ද හැම රටක් පාසාම වෙනස් වන හෙයිනි. අප මෙහිදී සලකන්නේ බුද්ධ ධර්මය නොව පාරිභාරික බුද්ධාගම බව ද එනම්, සමාජයේ ආයතනයක් වශයෙන් පවත්නා බුද්ධාගම බව ද අප විසින් අමතක නොකළ යුත්තකි. "

පෙර අපර දෙදිගම නාට්‍ය කලාවන්හි ම සම්භවය සෙවීමේ දී ආගමික මූලාශ්‍ර වෙත අවධානය යොමු වූ බැවින් සිංහල නාට්‍ය කලාවේ සම්භවය සෙවීමේදී ද බෞද්ධාගමික පුදපූජා, සිරිත්විරිත් වෙත අවධානය යොමු කිරීම සාධාරණ බැව් පෙනේ. නමුත් මෙම සංකල්පය කොතෙක් දුරට යුක්ති යුක්ත දැයි සොයා බැලීම අත්‍යාවශ්‍ය යි. ලංකාවට බුදු දහම හිමිවන්නෙ කිස්තු පූර්ව තුන්වන සියවසේ ය. නමුත් විජයාවතරණය සිදු වන මොහොතේ භාරතයෙහි දියුණු නාට්‍ය කලාවක් පැවති බව අමතක නොකළ යුතුයි. විජය භාරතීය සංස්කෘතිය මෙරටට හඳුන්වා දෙනු ලැබූ අතර එයට නාට්‍ය කලාව ද අයත් වන්නට ඇතැයි සිතීම යුක්ති යුක්තයි. භාරතය සමඟ වරින් වර සිදු වූ විවිධ ගනුදෙනු පිළිබඳව සඳහන් වන නිසා ලාංකික ජනයා භාරතීය නාට්‍ය කලාව පිළිබඳ දැන සිටින්නට ඇතැයි සිතිය හැකිය. 

සිංහල නාට්‍ය කලාවේ සම්භවය සොයා බැලීමේ දී  බුදු දහමේ පරමාර්ථ වෙත සරත්චන්ද්‍ර මහතා අවධානය යොමු කරයි. " බුද්ධ ධර්මයේ මූලික අනුශාසනා දෙස බලන විට අපට පෙනෙන්නේ බුද්ධාගම වෙනත් ආගම්වලට වඩා බෙහෙවින් වෙනස් බව ය. බුද්ධාගමේ පූජාකර්ම, යාග යාගහෝම ආදිය වෙන ආගම් හා සසඳන විට ඇත්තේ ස්වල්ප වශයෙනි. ඒ නිසා එය සාමූහික වන්දනා මානයෙන් තොරය. බුද්ධාගමේ පරමාර්ථය පුද්ගල විමුක්තිය යි. එනම් පුද්ගලයා තමාගේම ව්‍යායාමයෙන් හා අධිෂ්ඨානයෙන් සසර දුකින් මිදීම  ය. දෙවිවරුන් සරණ යාමෙන් මෙය ලබාගත නො හැක්කේ ය. එබැවින් බුද්ධාගමේ වෙන ආගම්වල ඇති විදියෙ දේව භක්තියක් නැත. "

සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කරන අන්දමට බුදු දහම සාමූහික වන්දනා මානවලින් තොර වූයේ නැත. මහාවංශයට අනුව ශ්‍රී මහා බෝධියට පූජා පවත්වනු පිණිස ලක්දිව සතර දිග් භාගයෙහි ජනයා රැස් වූහ. මිහිඳු හිමියන්ගේ පිරිනිවන් පෑමෙන් පසු උත්තිය රජ තෙමේ ඒ ඒ දිගින් ආ මහජන සමූහයා හා කැටිව පූජා සත්කාර කරවා ආදාහනය කළ බව සඳහන් ය. ඉතිහාසය විමසන විට අතීතයෙහි බුදු දහම දේව වන්දනාවෙන් තොර වූයේ ද නැත. බුදුන් වැඩම කළ දවසෙහි සුමන සමන් දෙව්රද සෝවාන්  වූ බවත්, බුදුන් වහන්සේගේ කේශධාතු නිධන් කර ස්ථූපයක් ගොඩ නැඟූ බවත්, මහාවංශයේ සදහන් ය. ඒ වගේ ම මහජනයාගේ එදිනෙදා අවශ්‍යතාවන්ට බුදු දහමෙන් පිහිටක් නොලැබුණායි කීම ද සාවද්‍යයි. අංගුලිමාල පිරිත දේශනා කිරීම, නම් තැබීම, ඉඳුල් කටගෑම, මරණය වැනි සෑම අවස්ථාවකදීම භික්ෂූවගේ සහයෝගය ලැබුණු බව අමතක නොකළ යුතුය. ඒ නිසා ලක්දිව නාට්‍ය කලාවක් දිවීම සඳහා බුදු දහමෙන් අනුබලයක් නොලැබුනේය යන්න සාධාරණ තර්කයක් නොවේ. ඉතිහාසය විමසා බැලීමේ දී ලංකාවේ නාට්‍ය කලාවක් පැවති බවට සාධක බොහෝ ය.  

ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම ලංකාවේ දියුණු නාටක කලාවක් නැතහොත් නෘත, නෘත්‍ය හා නාට්‍ය සම්ප්‍රදායක් පැවති බව සනාථ ය. විජය කුමරු  කුවේණියගේ උපකාරයෙන් ස්වදේශික යක්ෂ ගෝත්‍රිකයන් පරාජය කරන්නේ ඔවුන්ගේ මංගල උත්සව අවස්ථාවක දී ය. ඒ උත්සවයේ දී තූර්ය නාද සහිත ගීත ගායනා කළ බව මහාවංශයේ කියැවේ. ඒ වගේම පණ්ඩුකාභය රජතුමා චිත්තරාජ නම් යක්ෂයා සමඟ එකතුව සමාසනයේ හිඳ දිබ්බමානුස නම් නාට්‍ය විශේෂයක් රස විඳිමින් රති ක්‍රීඩාවෙන් යුක්තව අභිරමණය කළ බව කියැවේ. මෙම නාටක දිබ්බමානුස යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ දෙවියන් විසින් බිහිකරන ලද අර්ථයෙන් විය හැකි වන අතර සංස්කෘත නාට්‍යයේ ද කියැවෙන්නේ නාට්‍ය දෙවියන්ගේ දායාදයක් වූ බව ය.

බුදුදහම ලක්දිවට සැපත් වීමෙන් අනතුරුව ද භාරතය සමඟ පැවති සමීප ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස සංගීතය, නාට්‍ය, නර්තනය වැනි සෞන්දර්ය කලාවන් වර්ධනය වූයේ ය. බුදු බුදුදහමෙහි ප්‍රචලිතව පැවති අවදියේ පවා වෘත්තීය නළු නිළියන් වූ බව ද පැරණි ලෙන් ලිපිවලින් පැහැදිලි වේ. නාට්‍ය කලාවේ වර්ධනයට බුදු දහමින් පිටුබලයක් නොලැබුණේ නම් මෙසේ නළු නිළියන් ලෙන් පූජා නොකරනු ඇත. ඒ වාගේම ප්‍රාග් බෞද්ධ සමයේ පටන් ලක්දිව දියුණු නාට්‍ය සම්ප්‍රදායක් පැවති බව වෘර්තීය නළු නිළියන් සිටීමෙන් පැහැදිළි වේ.

බුදුදහම ප්‍රචලිත වීමෙන් පසුව ද බෞද්ධාගමික වන්දනාමානවල දී නර්තනය හා සංගීතය අනිවාර්ය අංගයක් විය. සිංහල ධාතු වංශයට අනුව මංගල මහා චෛත්‍යයෙහි ධාතු නිධාන උත්සවයට කාවන්තිස්ස රජතුමා සහභාගී වූයේ නැටුම්, ගැයුම්, වැයුම් සහිත නාට්‍යාංගනාවන් පිරිවරාගෙන ය. දුටුගැමුණු රජතුමා ද රත්නමාලී චෛත්‍ය ගොඩනැංවීමේ ආරම්භක අවස්ථාවට සහභාගී වූයේ නාටිකාංගනාවන් පිරිවරාගෙන බවට සඳහන් වේ. " ඒ රජ තෙමේ වනාහි ඉන්ද්‍රගුප්ත නම් ස්ථවිරයන් හා නාටිකාංගනාවන් සමඟ ධාතු ගර්භය හරිමින්.." යනුවෙන් ධාතු නිධන් කිරීමේ උත්සවය පිළිබඳව නාටිකාංගනාවන්ගේ සම්බන්ධය සඳහන් කරයි. අනුරාධපුර අවධියේ දී ආගමික පුද පූජාවලදී පමණක් නොව ලක්වැසියා සාමාන්‍ය ජීවිතයේදී ද නර්තනය සංගීතය රස විඳි බව සැබෑ ය. ගෝඨයිම්බර යෝධයා තම බිරිඳ ස්වර්ණාභරණයෙන් සරසා නාටක ජනයන් කැඳවා කැමති පරිද්දෙන් බෙර ගසා ගී කියන ලෙස නියෝග කොට මධු පානයෙන් යෙදී සතුටු වූ බව සඳහන් ය. 

අනුරාධපුර යුගයේ ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථවල ද සඳහන් තොරතුරුවලින් පෙනී යන්නේ ද එකල නාට්‍ය කලාව දියුණුව පැවති බවයි." සේන සලමෙවන් රජු" රචනා කරන සියබස්ලකර ආරම්භ වන්නේ මෙසේ ය.

පෙදෙන් බුදු සිරිත සිරිතැ

 බසින් වත් සිරිත් ඈ 

පද යුතු බසින් නළු ඈ 

අනතුරු ලකුණු දක්වම්

මෙහි නාට්‍ය සඳහා ගද්‍ය පද්‍ය දෙකම යොදා ගත යුතු යැයි සඳහන් වේ. සියබස්ලකර වූ කලී සංස්කෘත අලංකාරවාදී ග්‍රන්ථයක් වන කාව්‍යදර්ශයෙහි සිංහල ග්‍රන්ථයකි. එහි මෙකී ගීතය ඇතුළත් නොවේ. එසේ නම් සියබස්ලකරට මෙවැන්නක් ඇතුළත් කළේ එවකට දියුණු නාට්‍ය සම්ප්‍රදායක් පැවති නිසා ය.

පොළොන්නරු අවධියෙහි ද නාට්‍ය කලාව පිළිබඳ තොරතුරු ඇතුළත් ය. මහාවංශයේ සඳහන් ආකාරයට පරාක්‍රමබාහු රජතුමා ආගමික අවශ්‍යතාවයන් සඳහා කළ ධර්මාගාරයෙහි පවා නර්තනය හා සංගීතය දක්නට ලැබුණි. " තථාගත පූජාව පිණිස අනුත්තර වූ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය පිණිස ද ඒ පරාක්‍රමබාහු රජු පැමිණි කල දිව්‍ය  සංගීත සමාන කොට ළයාන්විත වූ මධුර ගායනා කොට රැඟුම් දක්වන්නා වූ නළඟනන් ..."

තවද මේ යුගයේ ලෞකික අවශ්‍යතාවන් සඳහා නර්තනය ඇතුලු කලාවන් භාවිත කළ බවට සාධක ලැබේ. පළවෙනි පරාක්‍රමබාහු රජතුමා තම විවේක කාලයේ දී සෞන්දර්ය කලා රස වින්දනය සඳහා සරස්වතී මණ්ඩපය නම් වූ ගොඩනැගිල්ලක් කර වූ බව සඳහන් වේ. මෙතුමා ගේ බිසව රූපවතී දේවිය රංගනයෙන් හා ගායනයෙන් මනා හැකියාවන්ගෙන් යුත් තැනැත්තියක බව සඳහන් ය. ඒ වගේම පරාක්‍රමබාහු රජතුමාගේ ජන්ම භූමිය වූ රෝහණ දේශයේ රංග රංගශාලා පහක් ඉදිකර තිබේ. මීට අමතරව පොළොන්නරලොන්නරු යුගයේ රචිත ග්‍රන්ථවල සංස්කෘත නාට්‍ය කෘතිවලින් උපුටාගත් උදෘතයන් දැකගත හැකිය.

දඹදෙණි අවධියේදී ද නර්තන කලාවන් පැවති බව සනාථ කළ හැකි වේ. ඒ අතර ප්‍රධාන සාධකය වන්නේ දඹදෙණි කතිකාවත යි. එහි භික්ෂූන් වහන්සේලාට කාව්‍ය, නාටක තහනමක් පනවා තිබේ. " කාව්‍ය නාටක ආදී ගර්හිත විද්‍යා තමනුත් නුගත යුතු යැයි අනුනුත් නොගැන්විය  යුතුය." මෙසේ භික්ෂූන් වහන්සේලාට එවැනි කටයුතු තහනම් කළේ එකල භික්ෂුව මෙකී කටයුතුවල නිරත වූ බැවිනි. භික්ෂුවට මෙකී කටයුතු තහනම් කළ ද රජතුමා දෛනික චර්යාවේ එක් අංගයක් ලෙස රාත්‍රී නාට්‍ය ශාලාවේ සිංහාසනාරූඪව වැඩ සිට නළු නිළියන් විසින් දැක්වූ නෘත්‍ය ගීත වාදනයෙන් සන්තෝෂ වූ බව කඳවුරු සිරිත වාර්තා කරයි. තවද  මේ සමයෙහි "ශුංගාර රස රත්නමාලා" නම් නාට්‍ය සිද්ධාන්ත ග්‍රන්ථයක් පැවති බව දක්නට ලැබේ. සද්ධර්මරත්නාවලී කතුවරයාට කවි මළුවෙහි ස්ථාවර පාත්‍රයක් වූ  කෝමාලීන් (කෝළම) පිළිබඳව සඳහන් කර තිබේ.

දඹදෙණි යුගයේ භික්ෂුන් වහන්සේට නාට්‍ය කලාව තහනම් කරනු ලැබුව ද ඉන් අනතුරුව කුරුණෑගල අවධියේ දී ආගමික අවශ්‍යතා සඳහා නාට්‍ය කලාව භාවිත කළ බව දළදා සිරිතෙන් පෙනේ. එසේම දඹදෙණි කතිකාවතේ අවුරුදු සීයක් ආසන්නයේ දී පවා භික්ෂූන් වහන්සේලා නාට්‍ය කලාව ඉගෙනීම හා ඉගැන්වීම් කටයුතුවල නිරත වූ බව දෙව්රද දම් පසඟිනාවන්ගේ දළදා සිරිතෙහි සඳහන් ය.

ගම්පොළ යුගයේ නර්තන කලාව පැවති බව සද්ධර්මාලංකාරයෙන් සනාථ වෙයි. " මෙසේ රිහාල් තිස්සයන් ඔරු බැඳීමෙන් දවස් යවන කල්හි දවසක සක්‍ර දේවේන්ද්‍රයෝ ඔවුන් ශ්‍රද්ධා සම්පත්තිය දැක විමසන කැමතිව නාටක ජනයන් විසුළු පාන්නට ලා ගත් විකට ඡායා රූපයක් සේ ඉතා මහලු වූ බමුණු වෙසක් මවාගෙන..."

මීට අමතරව කෝට්ටේ යුගයේ පවා දියුණු නාට්‍ය කලාවක් පැවති බව සංදේශ ග්‍රන්ථ තුළින් මනාව පැහැදිලිය. කෝට්ටේ යුගයෙන් පසු ඇතිවූ දේශපාලනික හා සංස්කෘතික විපර්යාසයන්හි ප්‍රතිඵලයක් වශයෙන් අඛණ්ඩව පැවති නාට්‍ය කලාව අභාවයට යන්නට ඇත. එසේම අනුරාධපුර අවධියේ සිටම දියුණු නාට්‍ය කලාවක් පැවති බවට සාධක ලැබීමෙන් පෙනී යන්නේ බුදු දහම නාට්‍ය කලාවක පැවැත්මට බාධාවක් වී යැයි ඇතැම් විද්වතුන් ඉදිරිපත් කරන මතය ද සාවද්‍ය බවකි. 

වර්තමානය වන විට සොකරි, කෝලම්, නාඩගම් නමින් නාටක සම්ප්‍රදායන් තුනක් නෂ්ටාවශේෂව පවතී. මෙකී සම්ප්‍රදායන් ගැමි නාටක ලෙස සැලකුවද, ඒවායෙහි දියුණු නාට්‍ය ලක්ෂණ ගම්‍යමාන වන නිසා මෙරට පැවති දියුණු නාට්‍ය සම්ප්‍රදායික නාට්‍ය නෂ්ටාවශේෂ වශයෙන් සැලකිය හැකිය. ඊට හේතුව මෙම රංග සම්ප්‍රදාය විමසා බලන විට පෙනී යන්නේ එකම නාට්‍ය සම්ප්‍රදායකින් පැවත ගෙන එන බව යි. ගැමි නාටක ලෙස සැලකුව ද කෝලම්, සොකරි, නාඩගම් හෙවත් කවි නළුවෙහි ශ්‍රාස්ත්‍රිය පදනමක පිහිටා අධ්‍යනය කළ යුතු බවද බවද හැඟේ. මේ රංග සම්ප්‍රදායන් තුන අතර පවතින සමානතා රැසක් නිසා එකී සම්ප්‍රදායික නාට්‍ය එක් මූලයකින් පැවත එන්නේ යැයි ප්‍රකාශ කිරීමට පුළුවන.

ලංකාවේ බෞද්ධ නාට්‍ය කලාවක් නොතිබුණේ යැයි සඳහන් කිරීමටද නොපුළුවන. දොරකඩ අස්න, ආලවක දමනය හා අංගුලිමාල දමන, ධර්ම දේශනා, සූවිසි විවරණය, සත් සති පූජා වැනි ආගමික අවස්ථා තුළින් සනාථ වන්නේ අදටත් බුදු දහම හා රංග කලාව ඉතා සමීප ඇසුරක් පවත්වන බව යි. ඒ නිසා ලක්දිව දියුණු නාට්‍ය කලාවක් පැවති බවත්, එය විවිධ බාහිර හා අභ්‍යන්තරික සාධක හේතුකොටගෙන පරිහානියට යන්නට ඇති බව සැලකීම යුක්ති යුක්ත ය.


 

   




Friday, July 30, 2021

වහල්ලු කෙටිකතාව

                             


මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතාව වනාහී මානව දයාවෙන් චරිත නිරුපණයට දැරූ වෑයමකි.  

සිංහල නවකතාවට මෙන්ම කෙටිකතාව මඟින් ද මහා විප්ලවයක් නැඟූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ යථාර්ථවාදී දැක්ම මුදුන් පමුණුවමින් රචිත තවත් වැදගත් කෙටිකතා සංග්‍රහයක් ලෙස වහල්ලු කෙටිකතා සංග්‍රහය දැක්වීමට පුළුවනි. හුදෙක්ම ග්‍රාමීය අත්දැකීම්වලට මුල්තැන දෙන වික්‍රමසිංහයන් අව්‍යාජ ලෙස මිනිස් චරිත හුවා දක්වමින් කෙටිකතා කලාව මුදුන්පත් කරයි.

මානව හිතවාදී ජිවන දෘෂ්ටිය හෙළමින් මනුෂ්‍යන් දෙස සානුකම්පිතව බැලීමට වික්‍රමසිංහයන්ගේ හඳ මඬල මෘදු විය. වහල්ලු කෙටිකතා සංග්‍රහයෙහි හුදෙක්ම ඇත්තේ මානව දයාව වැගිරෙන සමාජ චරිතයන් උලුප්පා දැක්වීමකි. මෙකී කෙටි කතා සංග්‍රහය මඟින් සත්‍ය ලෝකයේ සත්‍ය වශයෙන්ම සිදු වන්නා වූ මානව බැඳීම්, මානව අභ්‍යන්තරික ස්වභාවයන් ඉතා තීවුර ලෙස සියුම්ව ඉදිරිපත් කර දක්වයි.

සුවඳ නැති මලක් පිපුනයි අපේ වත්තේ 

සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ 

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතිවල මෙම පද්‍ය ඛණ්ඩය විවිධ විචාරකයන් දක්වාලන්නේ රසවත් නොවුනද ගැඹුරු දාර්ශනික සංකල්පනා විශද වන කෘති එතුමා විසින් රචනා කරන නිසා නොවේද ?

වහල්ලු කෙටිකතා කෙටිකතා සංග්‍රහයෙහි වහල්ලු කෙටිකතාව ද උතුම් මානුෂීය ගුණධර්ම වෑහෙන අපූරු කෙටි කතාවකි. චරිත අභ්‍යන්තරයට කිමිද එහි පත්ලෙහි වූ අභ්‍යන්තරික හැඟීම් පවා ඉතා සරලව ඉදිරිපත් කිරීම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගතියයි. හඳයා නම් වූ ගවයා නැතහොත් මිනිසාගේ ශක්තිය ලෙස හැඳින්වුවද කම් නැත. උපාලිගේ  නිවසෙහි සිටින හඳයා කෙරෙහි උපාලිස්ට ඇත්තේ හෘදයාංගම බැඳීමකි.

" උපාලි සුරතල් කරේ තමාගේ දරුවන් සමඟ නොව හඳයා සමගය. "

මෙකී උදෘතයෙන් ගම්‍ය වනුයේ උපාලිස් හා හඳයා  අතර ඇති ලෙන්ගතු මිත්‍රත්වය යි. උපාලිගේ දිළිඳු පවුල පෝෂණය කිරීමට හඳයා දැක්වූ මෙහෙයට කෘතගුණ සැලකීම වස් උපාලිගේ කාර්යභාරය යි. එහිදී,  උපාලි විසින් කායික මෙන්ම මානසික වශයෙන් ද හඳයාට දිරියක් වෙමින් හඳයා රැක ගැනීමට උත්සාහ දරයි. 

" කොන්ද බිඳී ඇඳෙහි වැතිරගන්නට පෙර උපාලිස් සතියකට වරක් හඳයා කරදියෙන් නෑව්වේ ය."

යථෝක්ත උද්ධෘතයෙන් උපාලිගේ චරිතයේ මානව ගුණධර්ම ඉස්මතු කරන අතරම උපාලිගේ කුඩා දුව විටෙක හඳයාට දක්වන සෙනෙහස පිළිබඳ විවරණය කරයි. 

" ඌට තණකොළ කන්න අරින්න. දවස් හතරකින් ඌට පුන්නක්කු ටිකක් දෙන්න බැරි උනා."

එසේම, හඳයාගේ චරිතය තුළින් තම ස්වාමියාට ඇති ගෞරවය, ආදරය මනාව විවරණය කර දක්වයි. හඳයා තිරිසනකු වුවද හඳයාට ද බෝසත් ගුණ පිහිටයි. වික්‍රමසිංහයන් හඳයාගේ ගති ස්වභාවය උලුප්පා දක්වමින් මුළු පාඨක සහෘදයාට ම හඳයා තුළ වූ මානව ගුණධර්ම ඉස්මතු කර දැක්වීමට සමත් වෙයි. 

" ගමන ඉක්මන් කරවනු පිණිස කෝපයෙන් කතා කරන මගියාගේ බස තේරුම් ගත්තාක් මෙන් හඳයා ද වේගයෙන් දුවයි."

උපාලිස්ගේ කරුණාව හමුවේ හඳයා උපාලිස්ට දක්වන කෘතඥ භාවය මුළු මහත් මානව සංහතියට ම ගෙන දෙන්නේ ආදර්ශමත් පණිවිඩයකි. නමුත් මාර්ටින් වික්‍රමසිංහයන්  හුදෙක්ම ආදර්ශයක් ගෙන දෙන කතා නිර්මාණය නොකරන අතර එය විචක්ෂණශීලී බුද්ධියෙන් විමසා බලා පාඨකයාට තේරුම් ගත හැකි අයුරින් සරලව ඉදිරිපත් කරයි.

" හඳයා හැමදාම උදේ ඇවිත් මෙයාගේ කකුල ලෙව කාලා මෙයා අවදි කරවනවා වූ කාටවත් විකුණා දාන්න ඕනි නෑ."

හඳයා උපාලිගේ කුඩා දරුවකු මෙන් ඔහුට සෙනෙහස පාමින් ඔහු අසලම රැඳේ. උපාලිස්ට ද හඳයා මහලු යැයි කියා මස් කඩේට හෝ කාට හරි විකුණා දැමීමට තිබිණි. නමුත් ඔහුගේ සත්ත්ව කරුණාවත් කළගුණ දැක්වීමේ ගෞරවයත් නිසා හඳයා ආදරයෙන් රැකබලා ගැනීමට ඔහු පෙළඹෙයි. වහල්ලු කෙටිකතාව මඟින් එසේ මානව ගුණධර්මයන් ප්‍රකට කරයි.

මේ අනුව යථෝක්ත කරුණු නිදර්ශන මඟින් ප්‍රකට කරන්නේ වහල්ලු කෙටි කතාවෙහි චරිතවල  එන මානව දයාව යි.


Thursday, July 29, 2021

නව්‍යවාදය


බටහිර සාහිත්‍ය විචාරයේ තවත් එක් විචාරවාදයක් ලෙස නූතන විචාරවාදය හෙවත් නව්‍යවාදය හදුන්වන්න පුළුවනි. විවිධ විචාරවාදයන් පරිවර්තනය හා ප්‍රගතිය මඟින් ක්‍රමිකව දියුණු තත්ත්වයකට පත් විය. එම ගමන්මගේ දී ප්‍රබල සිදුවීම් රාශියක් ඇති විය. 1917 දී රුසියාවේ බෝල්ෂෙවික් විප්ලවය, 1 වෙනි ලෝක යුද්ධය, කොමියුනිස්ට් කලාපය හා ධනවාදී කලාපය අතර හටගත් සීතල යුද්ධය, ඇමරිකා එක්සත් ජනපදය පෙරට ඒම තුන්වෙනි ලෝක යුද්ධය නමින් රටවල් පද්ධතියක් සඳහා නම් නියම කිරීම ආදී ප්‍රධාන සිදුවීම් විසිවන සියවසයේ දී ඇති විය. මෙකී ලෝක බල දේශපාලනයේ මෙන්ම කලාකෘති ක්ෂේත්‍රයේ සිදු වූ ඉමහත් චලනයන් බටහිර සාහිත්‍ය විචාරය කෙරෙහි වෙනස්කම් ඇති කරයි. 

නූතනවාදය, පශ්චාත් නුතනවාදය, මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය, ව්‍යුහවාදය, ස්ත්‍රීවාදය ආදී ප්‍රවණතා රැසක් 19 වැනි සියවසයේ සිට 21 වන සියවසය සිසාරා ගලා යයි. ප්‍රධානම කාරණයක් ලෙස ලෝක බලවතා ලෙස ඇමරිකාව නැඟී සිටීමත් සමඟ නව ලෝක රටාවන් පිළිබඳ කතිකා ඇති විය. ලෝකය තුන් ආකාරයකින් වෙනස් වේ යැයි හොබ්ස්වොන් පවසයි. එය තවදුරටත් යුරෝපා කේන්ද්‍රීය නොවන අතර ඇමරිකාව, යුරෝපය, ජපානය සමෘද්ධිමත් රටවල් වුවත් ලෝකය ඒක කේන්ද්‍රීය ඒකකයක් බවට පත් වී තිබේ. මෙය ආර්ථික වශයෙන් පමණක් නොව පොදු ජන සංස්කෘතිය වශයෙන් මහත් බලපෑමක් ඇති කරයි. පැරණි මිනිස් සබඳතා බිඳී ගොස් තිබේ. ස්වභාවවාදය හා සංකේතවාදයේ දිගුවක් ලෙස නව්‍යවාදය බිහි විය.

I වන ලෝක යුද්ධය ආකල්ප දෙකක් වෙනස් කරයි. එනම්, ස්වභාවවාදීන් විශ්වාස කළ මිනිස් ප්‍රගතිය, විද්‍යාව කෙරෙහි ඇති භක්තිය, මිනිසාගේ තර්කානුකුල බව වැනි ගුණාංග යි. සංකේතවාදීන් අනුගමනය කළ පුද්ගලයා ක්‍රියාකාරී දේශපාලනයට සහභාගී නොවී තමාගේ සෞන්දර්යය චාරිකාවේ පමණක් නිරත විය යුතු බවත් ප්‍රශ්න කරයි. සංකේතවාදය හා ස්වභාවවාදය නූතනවාදයත් සමඟ සම්මුඛ වීම නිසා ස්වභාවවාදී ලක්ෂණ හා සංකේතවාදී ලක්ෂණ නව්‍යවාදී කෘතිවල අඩංගු වේ. නව්‍යවාදීන් යොදා ගන්නා මාධ්‍ය පිළිබඳ නිරන්තරයෙන් අත්හදා බැලීම් කිරීම නව්‍යවාදීන්ගේ ලක්ෂණය යි. නව්‍යවාදීන් හැම පැරණි ලක්ෂණයක්ම ප්‍රශ්න කරන්නට විය. බොහෝ සංඛ්‍යාවක් වාද පහළ වූයේ යථාර්ථය දෙස නව කෝණයකින් බැලීම් හේතු කොට ගෙනයි. එම වාද අතරින් චිත්තරූපවාදය, වොර්ට්සිස්ට්වාදය, අනාගතවාදය, ප්‍රකාශනවාදය දක්වන්න පුළුවනි. 

චිත්‍රපටය විනෝදය සඳහා පළ කෙරුණු සඟරා හා පුවත්පත් ජනප්‍රිය පොත්පත් මෙකල බහුල ලෙස පැතිරෙන්නට විය. නව්‍යවාදය මේ ජනප්‍රිය රැල්ලට අභියෝගාත්මකව ලියවුණු ඒවා ය. මෙකල සාහිත්‍යයේ දක්නට ලැබුණු තවත් විශේෂ ලක්ෂණය වූයේ කුඩා සඟරා බිහි වීම යි. මේවා කුඩා වූ අතර ආයුකාලය කෙටි විය. විශේෂයෙන්ම කවියට වාහකය වූයේ මේවා යි. 

නව්‍යවාදය ගොඩනැගීම සඳහා අධ්‍යනයන් කළ චින්තකයන් ලෙස පහත දැක්වේ. 

ටී.ඊ. හුල්මේ 

" කවියා වූ කලී භාෂාව සමඟ බලවත්  අරගලයක යෙදෙන්නෙකි. "

චිත්තරූපවාදයේ සමාරම්භකයා ලෙස මොහු හැඳින්වේ. ඔහුට යුරෝපීය දර්ශනවාදියෙකු වන බර්ග්සන්ගේ බලපෑම ලැබී තිබේ. හුල්මේගේ විවේචනය රෝමාන්තිකවාදය කෙරෙහි යොමු විය. හුල්මේ භාෂාව පිළිබඳ දීර්ඝව විස්තර කර තිබේ. කවියා සාම්ප්‍රදායික භාෂාවෙන් ඉවත් වූ  පසු කාව්‍යයේ  සැබෑම අරුත ඉදිරිපත් වන බව පවසයි. ජීවය ලැබීමට නම් එයට රූපකය නැමැති කාව්‍යෝපක්‍රමය යෙදිය යුතු බව දක්වයි. හුල්මේ  පවසනුයේ කවියේ අනවශ්‍ය බාහිර ලක්ෂණ හා  උග්‍ර ලක්ෂණ තිබිය යුතු බව යි. 

ටී.එස්.එලියට්‍

" කවියේ පරමාර්ථය යම් කිසි අදහස් මාලාවක් එකතු කොට ඒවා විශ්වාස කරන්නට යැයි බල කිරීම නොවේ. "

තවත් නව්‍යවාදය ඉදිරියට රැගෙන ගිය ලේඛකයෙකු ලෙස ටී.එස්.එලියට්‍ දැක්විය හැකි ය. හුල්මේ මෙන් එළියට්‍ සම්ප්‍රදාය මුළුමනින් ම ඉවත් නොකර අතීතය හා වර්තමානය ගළපමින් තම නිර්මාණ සිදු කරයි. චිත්තරූප වාදයේ පහළ වූ විශිෂ්ටතමයා ටී.එස් එළියට්‍ ය. එලියට් ආභාසය ලැබූ කවීන් අතර අර්වින් බැබිට්‍, බර්ටන් රසල්, ටී.ඊ.හුල්මේ සිටී. එළියට්ගේ දර්ශනය වූයේ සමස්ත ජීවිතය පිළිබඳ අදහස් සංකල්ප හා විශ්වාසයන් ය. කාව්‍යකරණය කෙරෙහි එළියට්ගේ ප්‍රවාද ඉතා වැදගත් සංකල්ප කිහිපයක් මත වර්ධනය වෙයි. පංචේන්ද්‍රියන් මඟින් අනුභූති ලැබීම එක් අංශයකි. මෙහිදී චිත්තවේග හා හැඟීම් ලෙස කවියා තුළ බලපැවැත්වීම ඔහුගේ දැඩි අවධානයට පාත්‍ර වේ. එළියට්ගේ කාව්‍ය පිළිබඳ පළ කළ ප්‍රධාන ප්‍රවර්ග  දෙකක් වේ. 

( 1 )   නිර්පුද්ගලභාවය

( 2 )   වාස්තවික භාවය

නිර්පුද්ගල භාවයේ දී එළියට් පවසනුයේ නිර්මාණ මනසත් දුක්විඳින මිනිසාත් කවියත් අතර සම්බන්ධයක් නොමැති බව යි. චිත්තවේග හා හැඟීම් පිළිබඳ දුෂ්කර විද්‍යාත්මක සමීකරණයක් එලියට් දක්වයි. එම සමීකරණය තුළ ඔහුගේ දර්ශනය අපූර්ව ලෙස ගැබ්ව පවතී. එම සමීකරණය පහත දැක්වේ.

ඔක්සිජන් හා සල්පියුරික් ඩයොක්සයිඩ් වායුව සහිත නලයක platinum කූරක් ඇතුළු කර විට එහි සල්පියුරික් ඇසිඩ් සෑදේ. ඒ නව ස්වභාවය  හටගන්නේ ප්ලැටිනම් කැබැල්ලක් ඇත්නම් පමණි. එහෙත් මෙසේ සෑදුනු නව සාන්ද්‍රනයේ අංශුවක්වත් අඩංගු නොවේ. ප්ලැටිනම් කැබැල්ල තමාගේ ස්වාධීන ක්‍රියාකාරීත්වයත් නොපෙන්වා මධ්‍යස්ථව පවතී. කවියාගේ මනසද platinum කැබැල්ල සදිසි ය. බාහිර ලෝකයෙහි පවත්නා යම් යම් තත්වයන් ඇසුරෙන් චිත්තවේග උපදින බව හා එයට අවශ්‍යය සාධකයන් තව තවත් විස්තරාත්මකව එලියට් දක්වයි.

වස්තු ද්‍රව්‍ය සංකල්ප ආදී බාහිර වස්තු සියල්ල කිසියම් තර්කනයක් මත නොපෙනෙන හුයකින් සහ සම්බන්ධ කර අර්ථ මතු කිරීම වාස්තවික සහ  සම්බන්ධතාවයයි.

එලියට් විශාල පෙරළියක් මේ ආකාරයෙන් නව්‍යවාදය තුළ සිදුකර තිබේ.

එක්රා පවුන්ඩ්

එක්රා පවුන්ඩ් යටකී නව පෙරටුගාමී විචාර කුලයෙ ප්‍රබලයෙකි. හුල්මේ දියත් කළ  චිත්තරූපවාදී ව්‍යාපාරය හිනි පෙත්තටම දියුණු කරනු ලැබුවේ පවුන්ඩ් විසිනි. කවිය විෂයෙහි ප්‍රබල බව අපේක්ෂා කළ පවුන්ඩ් පුහු සාටෝපවත් අලංකාරවලින් ගැවසුනු දීප්තිමත් කවි ප්‍රතික්ෂේප කරයි. චිත්ත රූප යනු භාෂාවේ උපරිම කුලය ස්පර්ශ කිරීම යනුවෙන් පවසයි. එසේම උතුම් සාහිත්‍ය යනු අර්ථය එහි උපරිමය දක්වා ඔසවා තබන ලේඛනය බව පවුන්ඩ් සඳහන් කරයි. 

නීෂේ

" විශිෂ්ට කවියක් යනු අඳුරේ දැල්වෙන ශ්‍රමිකාලෝකයකින් ලැබෙන ප්‍රඥාව බඳු බව පවුන්ඩ්ගේ අදහස යි. "

නිෂේ නව්‍යවාදය තුළ ක්‍රියාකාරී මෙහෙයක් කරයි. ඔහුගේ කෘති අතර සාහිත්‍ය හා නිර්මාණ කෙරෙහි වැඩි වශයෙන් බලපෑම් කෘතිය නම් The birth of tragedy වේ. ඔහු ඇපලෝනියානු හා දියොනීසියානු පක්ෂ දෙක ගැන වැඩි අවධානය යොමු කරයි. නිෂේ අතිසන්තාවාදයේ මූලික හරය වන විකාර රූපය හා ජුගුප්සාව පවතී. එසේම අතාර්තිකත්වය පිළිබඳව විප්ලවීය මත ප්‍රකාශ කරයි. 

සිග්මන් ෆොයිඩ්

සිග්මන් ෆ්‍රොයිඩ් අවිඥානිකත්වය පිළිබඳ මත ඉදිරිපත් කර තිබේ. මිනිසා පිළිබඳව ආත්ම චිත්‍රය තුන්වැනි වරට කේන්ද්‍රයෙන් එපිටට ගැනීමක් තමා සිදු කළ බව ඔහු පවසයි. එසේම ඔහුගේ මනෝවිශ්ලේෂණ න්‍යායන් අයත් අප සිත් සතන් සසල කරයි. ෆ්‍රොයිඩ් සිහින පිළිබඳ දක්වයි. නුතනවාදී විචාරකයන්ගේ ක්‍රමවේදයන්ට ප්‍රොයිඩ්ගේ මේ සිහින පිළිබඳ මත බලපා ඇත.

මේ අනුව නූතන වාදයේ අවසන් නිගමනය ලෙස හඳුනා ගන්නට පුළුවන් වන්නේ වර්තමාන සාහිත්‍ය විචාරය කෙරෙහි නව්‍යවාදයෙන් දැමූ පියවර හෙවත් අඩිතාලම තදින්ම බලපා ඇති බව යි. එහිලා නව්‍යවාදයේ එලියට් වැනි විචාරකයන් ඉදිරිපත් කරන ලද මතවාදයන් හා අදහස් අත්‍යන්තයෙන් ම වැදගත් වෙයි.









Tuesday, July 27, 2021

ජනශ්‍රැතිය

ජනශ්‍රැතිය තුළ අන්තර්ගත වන්නේ මිනිසාගේ සාමූහික චින්තන නියෝජනය යි. 



මිනිසා සිය අදහස් හුවමාරු කර ගැනීමට භාෂාව යම් අවධියක උපයෝගී කර ගත්තේ ද ඒ අවදියෙහි ම ජනශ්‍රැතිය ආරම්භ වූයේ යැයි සිතිය හැකිය. තිඹිරි ගෙයි සිට සොහොන් ගෙය දක්වා යන මානවයාගේ ජීවිත කාලය තුළ හෙතෙම ජීවත් කරවන අවිඥානික මාධ්‍යක් ලෙසින් ජනශ්‍රැතිය, ජාතික සංස්කෘතියක් දැන ගැනීමටත් එයට අයත් කරුණු සෙවීමටත් අතිශයෝපකාරී වෙයි. ජනශ්‍රැතිය වනාහී තනි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවක් නිසා ඇති වන්නක් නොවේ. එය සමාජීය අවශ්‍යතාවක් අනුව ඇති වන්නකි. එබැවින් ජනශ්‍රැතිය අතීතයට හෝ වර්තමානයට පමණක් අදාල වූවක් නොවේ. සමාජීය, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අනාගත යුගයන් වෙත ද දැනුම් සම්ප්‍රේක්ෂණය කරන මාධ්‍යකි. කවර ජනශ්‍රැතියකට වුවද පාදක වන්නේ ජනයා ජීවිතය හා පරිසරය ඇසුරෙන් ලබන අත්දැකීම් හා හැඟීම් දැනීම් ය. පරිසරය මිනිස් අවශ්‍යතා සඳහා ගළපා ගන්නා ආකාරය තුළ මිනිසා අද්දැකීම් ලබා ගනී. අතීත මිනිසා ස්වභාව ධර්මයේ විවිධ සංසිද්ධි පිළිබඳ යථරූපිව වටහා ගත නොහැකි වූ තැන ඒවාට ජීවාරෝපනයක් දී වැඳුම් පිඳුම් කිරීමටත් විවිධ විශ්වාස පද්ධති ගොඩනගා ගැනීමටත්, පුරුදු විය. ඒවා ජනශ්‍රැතිය ඔස්සේ පැවත එමින් අතීත ජනයාගේ සාමූහික චින්තන ශක්‍යතාව හෙළි කරයි.

මානවයාගේ චින්තනය යනු ජනශ්‍රැතියේ ගැබ්ව ඇති ආකල්ප, සංකල්ප, හැඟීම්, දැනීම් අදියයි. ජනශ්‍රැතියේ වාච්‍යාර්ථයට ඉදුරාම විරුද්ධ අදහසක් අභ්‍යන්තර වශයෙන් අඩංගු විය හැකි ය. ජනශ්‍රැතිය තුළ වාච්‍යාර්ථය ඉක්මවා ගිය වවාච්‍යාර්ථය ජන විඥානය වේ. ජනශ්‍රැතිය අධ්‍යනය කරන කල්හී පෙනී යන්නේ යම් ජනශ්‍රැතියක මිනිසාට අන්තර්ගත කිරීමට අවශ්‍ය වූ දෙය සෘජුවම නොපවසා එය ඉතා නිර්මාණශීලිව ඉදිරිපත් කොට ඇති බවයි. සොබාදහම හා බද්ධ වූ මිනිසා විසින් තමා දුටු අපූර්වත්වය වටහා ගැන්මට අපහසු දෑ, දැනුම, තනිකම, තමා සන්තක දැනුම ආදී සෑම ඉසව්වක්ම නියෝජනය කිරීම උදෙසා ජනශ්‍රැතිය යොදා ගනී. මානවයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගබඩා කොට තබන ලද සාමූහික චින්තනයේ පරිමිතියන් කවරේ ද යන වග මැනවින් වටහා ගැනීමට ජනශ්‍රැතිය විදාරණය කොට බැලිය යුතු ය. 

නිදසුනක් ලෙස උරගලොවේ භූතාත්මලාභියෙකු ලෙස සැලකෙන බෝදිලිමා කටුසු පවුලේ සාමාජිකයෙකි. බෝදිලිමා පිළිබඳ ශ්‍රැති බොහෝ දුරට ජනප්‍රියව පවතින්නේ නුවර කලාවිය ප්‍රදේශයේ ය. බෝදිලිමාගේ ප්‍රභවය සම්බන්ධයෙන් විමසන විට පෙනී යන්නේ ඒ හා සබැඳි ශ්‍රැතීන් කිහිපයක් පවතින බව යි. එබඳු ශ්‍රැතියකට අනුව ගර්භනී කාන්තාවකට ඇගේ ස්වාමියා විසින් පහර දී නිවසින් පිටුවහල් කොට ඇත. පහර කෑ වේදනාවෙන් දරුවා ප්‍රසූත කොට ගත නොහැකිව මළ ඈ බෝදිලිමා ආත්මයක් ලබා ඉපදී ඇත. මෙසේ භූතාත්මයක් ලද ඇයව ගැබිනියක ප්‍රසූත වේදනාවෙන් නඟන හඬට සමාන හඬක් නඟමින් රාත්‍රියේ දී පිරිමින් බිය ගැන්වීමට පටන් ගෙන තිබේ. මේ හා සමානව තවත් ශ්‍රැතියක දැක්වෙන්නේ ඉතා ආදරයෙන් ආශ්‍රය කළ ගම්බඳ යුවළකට දාව දරුවෙකු ලැබෙන්නට ගිය අවස්ථාවේ බිරිඳ තිඹිරි ගෙය තුළදී ම මියගොස් බෝදිලිමෙකු වූ බවයි. මේ ශ්‍රැතියෙන් පැවසෙන මිනිස් චින්තනය නම් පුනරුප්පත්තිය ගැන විශ්වාසය තැබූ මේ අතමභාවයේ යම් ප්‍රතිඵල ඊලග ආත්මභාවයේ දී ක්‍රියාත්මක වන බවට ලද ආගමික පරිචයත්, පව් පල දීම යන ආගමික සංකල්පයත්, ගර්භනී මාතාවන් ඉතා ගෞරවයෙන් රැක බලා ගත යුතුය යන සමාජ සාරධර්මය උද්දීපනය කිරීම යි.

විශේෂයෙන්ම ජන ආගම, ජන ශාන්තිකර්ම හා ජන වෙදකම කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මිනිසාගේ සාමූහික චින්තනය ප්‍රකට කරයි. ආගමික ඇදහිලි, විශ්වාස, අභිචාර විධි ආදී මිත්‍යාවන් නිසා සමූහයක් ලෙස පැන නඟින විශ්වාස විවරණය වී ආගමික ඇඳහිල්ලක් ලෙස එක්තරා ආකාරයකට ගොනු වීමක් සිදු වේ. විජය කුවේණි කතා පුවත දෙස අවධානය යොමු කිරීමේ දී එම කතා පුවත අද දක්වාම පැමිණීමට හේතු වී තිබෙන්නේ මානවයන් විසින් ගොඩනගා ගෙන තිබෙන සාමූහික චින්තනයේ ප්‍රතිඵලයකිනි. ඒ කතා පුවතත් සමඟ ඇදහිලි, විශ්වාස, ශාන්තිකර්ම, සිංහල වෙදකම පවා ගොඩනැගී තිබෙන බවත් ඒවා අද දක්වාම පැවත එන බවත් පෙනේ. විජය රජු කුවේනියට දුන් පොරොන්දු කඩ කොට දරු දෙදෙනා සමඟ ඇයව පලවා හැරීම නිසා කුවේණිය විසින් කරන ශාපයත්, එය පඩුවස් දෙව් රජුට බලපෑ හෙයින් එම දිවි දොස දුරලීමේ යතු කර්මය හෙවත් කොහොඹා යක් කන්කාරිය ශාන්තිකර්මය පැවැත්වූ බව පෙනේ. අදටත් ජනයා අස්වනු ශාශ්‍රික කර ගැනීමටත්, සෞභාග්‍යය, සමුද්ධිය උදා කර ගැනීම සඳහාත්, වසංගත රෝග, ලෙඩ දුක් අතුරු අන්තරා නැති කර ගැනීම සඳහාත් මේ ශාන්තිකර්මය පවත්වයි. කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආ විශ්වාස මඟින් මිනිස් චින්තනය ගොඩනැගී තිබෙන බව මින් පෙනේ.

ලාංකේය ශිෂ්ටාචාරය තුළ විශිෂ්ටත්වයක් දක්වන ශෛලමය මූර්ති හා කැටයම් කලාවත් ප්‍රතිමා, වාපී ශිෂ්ටාචාරය ආකාස්මිකව පහළ වූ සම්පත් නොවේ. ඒවා පාරම්පරිකව ආ විඥානයට කලින් කලට එකතු වූ නව දැනුම ඔස්සේ ප්‍රවර්ධනය වී ජන සමාජයට පහළ කරගත් ජීවමාන ජනශ්‍රැතික සාධකයන් වේ. විශේෂයෙන් අනුරධපුර මහමෙව්නා සමාධි බුද්ධ ප්‍රතිමාව, අවුකන පිළිමය සමස්ත ථේරවාදී බෞද්ධ දර්ශනය ම සංකේතවත් කරයි. එකල ජනතාව ඒකරාශී වෙමින් භක්තිමත් ගෞරවයකින් බුදු දහම වැළඳ ගැනීමත් සමඟ නිවන කරා යෑමට ඔවුන්ගේ චින්තනය සකසා ගනී. ඒ උතුම් බුද්ධ මාර්ගය ඔස්සේ තවමත් මානවයන් ගමන් කරයි. 

අල්ලාගෙන යන නෙරිය අතකින් කිමද නගෝ 

වසාගෙන දෙතන අතකින් කිමද නගෝ 

හිමියෙක් නැති ගමන් තනි මඟ කිමද නගෝ 

අම්බලමේ ඉදලා අපි යමුද නගෝ 

මේ ජනකවි දෙස අවධානය යොමු කිරීමේ දී තරුණයෙකු විසින් තනි මඟ යන තරුණිය දුටු පමණින් තම සිත තුළ පහළ වූ හැඟීම් ප්‍රකාශනයක් අන්තර්ගත වෙයි. මෙහිදී තරුණිය ද තරුණයාගේ කවියට පිළිතුරු කවියක් ගයයි. එම කවිය මඟින් සමාජයේ අගය කළ ගුණ ධර්ම පමණක් නොව ස්ථානෝචිත ප්‍රඥාව ඉමතු කරයි. මානවයන් තුළ වූ අතෘප්ත කර ආශාවන්ගේ ස්වභාවයත්, හැඟීම්, සිතුම්, පැතුම් අවස්ථානෝචිත ලෙස ගොඩනගා ගැනීමටත් මේ ජනකවිය වඩාත් යෝග්‍ය වේ. මේ කවි පොදු ජනයා හා වඩාත් සමීප වී තිබෙන්නේ එමඟින් ලබා දෙන චින්තනමය වටිනාකම හේතු කොට ගෙනයි. මෙයට අතීතයේ දී භාවිත කළ " කණ කොකාගේ සුද පෙනෙන්නේ ඉඟිලෙන කොටලු " යන කියමනෙන් අදහස් වන්නේද මිනිසුන්ගේ සැබෑ ස්වරූපය හදුනාගත හැක්කේ ක්‍රියාවෙන්ම බව යි. 

මේ අනුව ජනශ්‍රැතිය කිසියම් කණ්ඩායමක සාමූහික චර්යාව මුල් කරගෙන ගොඩනැඟෙන අතර සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙකු යම් චර්යාවක් අනුගමනය කරන්නේ ද එය සමස්ත සමාජයේම පොදු චින්තනයට සැකසීමට හේතු වේ. සාමූහික චින්තනයට ගැළපෙන ආකාරයෙන් කෙනෙක් ඉදිරිපත් කරන යම් දෙයක් සියලු දෙනා විසින් පිළිගනු ලබන අතර එය ඉදිරියට ගලා යාමට ජනශ්‍රැතිය රුකුල් සපයයි.



Monday, July 26, 2021

ඕ හසා (ර්) බල්තසාර්

 


" ඕ හසාර් බල්තසාර් " සිනමා කලාවේ විශිෂ්ටම නිර්මාණකරුවෙකු වූ රෝබෑර් බ්‍රෙසෝන් අතින් නිමවුණු හෘදය සංවේදී චිත්‍රපටියකි. ඇසට කඳුළක් උණන සිදුවීම් සමුදායක් එකට කැටි කර චිත්‍රපටය නිර්මාණය කරයි. චිත්‍රපටිය පුරාවට බුරුවෙකු වූ බල්තසාර්ගේ ශෝකාලාපය හඳ කම්පා කරවන ලෙස මතු කර දක්වයි. බූරුවා උපතේ සිට මරණය දක්වා ගෙවා දමන දුක්ඛිත ජීවිතයත්, බූරුවාගේ හැඟීම් මනාව කැමරා කාචයෙන් ලබා ගැනීමට බ්‍රෙසෝන් සමත් වී ඇත. චිත්‍රපටයේ දී බල්තසාර්ට අමුතු සානුකම්පිත දෘෂ්ටියක් ලබා දීමට බ්‍රෙසෝන් උත්සහ නොකරයි. ඒ වෙනුවට එය නරඹන ප්‍රේක්ෂක ජනතාවගේ සිත්වල ඇතිවන හැඟීම් මඟින් බල්තසාර්ට සානුකම්පිත දෘෂ්ටියක් ලබා දීමට වෑයම් කරයි. 

වෙනත් චිත්‍රපටිවල සත්ත්ව චරිත මිනිසුන් හා සමානවම ඔසවා තැබීමට, වටිනාකමක් ලබා දීමට උත්සහ කරත් මේ චිත්‍රපටියේ දී බල්තසාර් ගෙවා දමන කටුක ජීවිතය හේතු කොට ගෙන  ඇති වන පීඩාවන් තාත්ත්වික ලෙස උකහා දක්වයි. බල්තසාර්ගේ හැඟීම් නිරූපනය අතින් විශිෂ්ට වේ. ලොම් සහිත සත්ත්වයෙකු වුවත්, බූරුවා යන නාමයෙන් බල්තසාර් වැනි සතුන් හැඳින්වුවත් මිනිසුන් ළඟ නොමැති මානුෂීයත්වයක් බල්තසාර් ළඟ තිබේ. බල්තසාර්ගේ මුහුණින් ප්‍රකාශ වන හැඟීම්, බලාපොරොත්තු රහිත, අරමුණක් නැති ජීවිතයත්, කියා ගන්න බැරි ඇස්වලින් පිටවන වේදනාවත්, අසරණ බවත් ප්‍රේක්ෂකයාගේ හදවත පසාරු කිරීමට සමත් වේ.

බල්තසාර්ට මිහිරි කටහඬක් නැත. නමුත් ඒ පිළිබඳ බල්තසාර්ගේ කණගාටුවක් නොවේ. උපතින් ලද කටහඬ මඟින් බල්තසාර්ගේ වේදනාව මිනිසුන්ගේ සිත් පත්ලේ තැම්පත් කර විශාල වේදනාවක් මතු පිටට පැමිණවීමට හැකි වී තිබේ. සිත් පිත් නැති මිනිසුන්ගේ අධම ගති නිසාත්, සත්ත්වයෙකු ලෙස ඉපදීමේ පව නිසාත්, බල්තසාර් කඩා වැටේ. චිත්‍රපටය පුරාවටම දොරවල් ඇරෙන හා වැසෙන අයුරු සමීපව කැමරාවට හසු කර ගෙන තිබේ. මනුෂ්‍යාගේ ජීවිතය නොයෙකුත් දිශානතීන් කරා ප්‍රවිෂ්ට වීමේ හැකියාවක් තිබේ. ස්වාධීන වූ මිනිස් ජීවිතයේ දී තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් තමා කරා ළඟා කර ගැනීමට හැකියාව මිනිසාට ලැබෙන්නේ උපතේදීම ය. තමාගේ ජීවිතය කුමන අරමුණක් කරා විවෘත කරගන්නේ ද කුමන පාර්ශවය වසා තබන්නේ දැයි මිනිසාට තීරණය කළ හැකි ය. නමුත් අනුන්ගෙන් යැපෙන බල්තසාර්ට කිසිදා තමාගේ ජීවිතයේ තමාට අවශ්‍ය දේ ළඟා කර ගැනීමට නොහැක. බල්තසාර් වැනි සතුන්ට උරුම වී ඇත්තේ හැමදාමත් මිනිසා යටතේ හිඳිමින් ඔවුන්ගේ බැල මෙහෙවර කොට ජීවත් වීමයි. මෙය ප්‍රේක්ෂකයාට සංකිර්ණව වටහා දීමේ උපක්‍රමයක් ලෙස දොරටු ඇරීම වැසීම සිදු වේ.

මරී බල්තසාර්ගේ කටකලියාවේ මල් ගසා ඒ මඟින් ප්‍රබෝධයට පත් වෙයි. නමුත් මරී බල්තසාර්ට සැබෑ ලෙසම ආලය කරන්නේ දැයි ගැටළු සහගත වේ. එහිදී කිසියම් හිඩැසක් ඉතිරි කරන ආකාරයක් හැඟේ. ගමේ ළමුන් බල්තසාර්ට කරදර අකටයුතුකම් කිරීමේ දී එය වැළැක්වීම සඳහා ඇය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී. මේ මඟින් මිනිස් ජීවිතයේ සැඟවිලා තිබෙන ගුඪ චෛතසිකයන් නිරුපණය වේ. බල්තසාර් ඇවිදින හඬ නිරන්තරයෙන් දෝන්කාර දෙන ලෙස ඇසීමට සැලැස්වීමත්, කස පාරේ ශබ්දයත් මඟින් ප්‍රේක්ෂකයා වේදනාවට පත් කරයි. බූරුවාට  තලන එම ශබ්දය බලා සිටින ප්‍රේක්ෂකයාට පහර දෙන්නක් මෙන් දැනෙන්නට සැලැස්වීම බ්‍රේසෝන්ගේ උපක්‍රමය යි. 



චිත්‍රපටයේ දෙබස් අඩුවෙන් යොදා ගනී. සජීවී දෙබස් මගින් චරිතවල අභ්‍යන්තරය ප්‍රකාශ කරනවා වෙනුවට මුහුණුවල මතු වන ඉරියව්වලින් භාවාත්මක රූපණය සිදු කරයි. මිනිසුන්ගේ හැසිරීම් රටාවන් මගින් අවස්ථා නිරුපණය කරයි. මිනිස් චරිතවල විවිධත්වය මතු කිරීම සාර්ථක උත්සාහයකි. බේබදු මිනිසා දැක්වීමෙන් සිහියක් නැතිව සිටියත් බල්තසාර්ට ඔහු ආදරය, කරුණාව, දයාව පෙන්වා හැකි පමණින් රැක බලා ගනී. නමුත් ජෙරාර් තරුණ පිරිමි ළමයෙකු වුවත්, ඔහු හැමවිටම නපුරු ගතිවලින් හා නපුරු ක්‍රියාවල යෙදෙන්නට විය. බල්තසාර්ගේ වලිගය කඩදාසි කොළයක් දමා ගිනි තැබීමෙන් ජෙරාර්ගේ උණු නොවන හදවත් වටහා ගැනීමට ඉඩ සලසයි.

චරිත ප්‍රවිෂ්ට වීමට මත්තෙන් එම චරිත රැදෙන දර්ශන තලයට මුලින්ම කැමරා කාචය යොමු කරයි. එම දර්ශනය පෙන්වීමෙන් අනතුරුව චරිතවල ක්‍රියාකාරීත්වය පෙන්වීමට මත්තෙන් ප්‍රේක්ෂකයාට ළගා කරයි. චරිතවල ක්‍රියාකාරීත්වය පෙන්වීමට මත්තෙන් ප්‍රේක්ෂකයාට ඉගි කරන්නේ ඊලඟ මොහොතේ කුමක් සිදුවීමට නියමිතද යන්නයි. නිදසුනක් ලෙස පිදුරු ගැලක් ඇදන් බල්තසාර් ගමන් කිරීමේදී වේගය එන්න එන්න වැඩි වේ. ගැලේ පැද්දෙන ශබ්දය මහත් කොට එම අවස්ථාවේ පෙන්වයි. එවිට අපට වටහා ගැනීමට හැකි වන්නේ ඊලග මොහොතේ ගැළ පෙරලෙන බවයි. මෙහිදී බල්තසාර් මුලින්ම නොපෙන්වන අතර පිදුරු ගැලත්, කරත්ත රෝදයත්, ගල් ගෙඩිවලින් පිරුණු මාර්ගයත් මුලින්ම කැමරා කාචයට හසු කරයි. 

බල්තසර්ගේ ජීවිතයේ අවසානයේ වුවත් ඒ තරම්ම සුභදායක නොවේ. මනුෂ්‍යන් බල්තසාර්ගෙන් වැඩ ගෙන ඔවුන්ම බල්තසාර්ගේ මරණය ළගා කරන්නේ වෙඩි තැබීමෙනි. මෙය කොපමණ නින්දිත ක්‍රියාවක්ද සහ ඉපදීම මොනතරම් දුකක්ද යන්න ගැබුරින් භාවාත්මක පාර්ශවයට ඉඩ දී නිරුපණය කරයි. බල්තසාර් උපකාර පතා මරී ලගටවත් අවසාන මොහොතේ නොයන්නේ බල්තසාර්ට මෙලොව උපකාර කළ කිසිවෙකු නොමැති බව අවබෝධ කර ගැනීමෙනි.

අවසානයේ බල්තසාර් මිය යන්නේ බැටළුවෝ රැලක් මාධ්‍යයේ ය. සතුන් අතරම ඉපදී සතුන් අතරම මිය යාම තරම් දෙයක් බල්තසාර්ට තවත් ඉතිරි වී නැත. එම නිසා චිත්‍රපටය පුරාවට තිබූ කළු සුදු වර්ණය බැහැර කර දීප්තිමත් ආලෝකයක් ලබා දෙමින් බල්තසාර්ව මතු කර පෙන්වයි. මේ ආලෝකය මගින් බල්තසාර්ගේ නිදහස ලැබුණේ මරණය හමුවේ පමණක් බව සමස්ත ප්‍රජාවටම අවධාරණය කරයි. මේ අනුව චිත්‍රපටය පුරාවට බල්තසාර් හා මිනිසුන්ගේ ක්‍රියාකලාපය හා හැගීම් ප්‍රකාශ වෙනවා සේම ප්‍රේක්ෂකයාට දැනෙන භාවාත්මක ශෛලියකින් චිත්‍රපටය ගොඩනංවා තිබේ. මෙය ඉතාමත් සාර්ථක නිර්මාණයක් ලෙස හැදින්වීම උචිත ය.



බලා වැළපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ ගීත විචාරය



මම රසවින්දනය සඳහා තෝරා ගනු ලැබූ මෙම ගීතය මෑත කාලයේ දී අසන්නට ලැබුණු සොඳුරු ගීතයකි. මේ ගීතය හා බැඳුණු සුවිශේෂ බවක් ඇත. ඒ මෙම ගීතය ගයනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සිංහවංශ සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි. ගීතය රචනා කරන ලද්දේ ජානක සිරිවර්ධනයන් වන අතර සංගීතවත් කරන ලද්දේ අරුණ ගුණවර්ධනයි. 

සරසවිය බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මඟ වෙනස් කරන ක්ෂේම භූමියක්. ඇතැමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරණක් මිහි මත තවත් නොවිය හැකි ය. එසේම, විරහවට ද එය උරුමකම් කියනු නොඅනුමානයි. හන්තානය යනු ප්‍රේමය පාරාදීසයක් බඳු පෙදෙසකි. එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි. සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි.

බලා වැළපෙමි 

නෙලාගනු බැරි 

හන්තාන සිහිනේ 

දරා නෙත් අඟ 

දොවා සිත් මල

ගොතනු මැන ළඳුනේ

සංසාර සිහිනේ 

ඇය සොඳුරු රූමත් යෞවනියකි. තම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මනවයකයන් සරන මේ සරසවි බිම ඇගේ වීරයා වන්නේ ඇයට ශිල්ප ලබා දෙන ඇඳුරිදු යි. ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හඳ කොනක මෝරා වැඩෙන්නට වෙයි. මෙය එක්තරා අසම්මත පෙමක කතාන්දරයකි. ප්‍රේමය අසම්මත විය නොහැකිය. නමුත් ප්‍රේමය සම්මත හෝ අසම්මත යැයි හංවඩු ගසන්නේ සදාචාරය නමැති පිරුවට මඟින් නිරුවත වසාගත් සමාජය යි. නෙළා ගනු නොහෙන පෙමක් හෙයින් ඇය රහසේම වළපෙනුයේ එබැවිනි. සංසාරය නම් දීර්ඝ වූ ගමනේ කවදා හෝ හමුවන තෙක් ඉවසා දරා සිටින ලෙස ඇයට ඔහු ආරාධනා කරයි.

වැහි පබළු යට 

රඟ මඬල මැද 

ඔබේ දෑතේ තුරුළු වෙන්නට 

බිසෝ හැර ගිය 

ළසෝ රඟ හළ

අමාවක අඳුරේ 

නොඑනු මැන ළඳුනේ

ඔහුගේ බිරිඳ ඔහු හැරගොස් ය. එබැවින් ඔහුගේ හදවත නම් රඟහල දැන් ඇත්තේ අඳුරේ ය. එය හුදු අන්ධකාරයක් පමණක් නොව අමාවක අඳුරකි. මේ රූපකයෙන් පුරුෂයා වෙළාගෙන පවතින භාවාත්මක හුදකලාව විග්‍රහ කිරීමට සියුම් උත්සාහයක නිරත වෙයි. ඒ හුදකලාව මැකීමට පැමිණි අනාරාධිත අමුත්තිය වෙත ඔහු දැන් බැඳී ඇත. ඔහු ඇයට නොඑන ලෙස ආයාචනය කරයි.

වඩින තුරු සඳ දුරින් ඉන්නම් 

තරු ඇඳුරු පෙම් ගී අහන්නම් 

සොඳුරු ඒ සඳ දියේ එන්නම් 

හිඳිනු මැන සොඳුරේ 

හන්තාන අරණේ 

උගත්කමින් ශික්ෂාවක් ලැබූ ඇය තමාගේ ප්‍රේම ආරාධනාව පිළිගෙන ඔහු එනතුරු දුරින් සිටින බව පවසයි. ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හඳ මඬලට සඳ එළිය ලැබෙන දිනක මම නුබ ළඟට එන්නෙමි. එතෙක් නුබ සාර්ථකව අධ්‍යාපනය නිමා කර ගෙන හන්තාන අරණේ හිඳිනු මැනවි. හන්තානය ඔවුන්ගේ ලියලා වැඩෙන ප්‍රේමය සංකේතවත් නොකරන්නේ ද? කෙසේ නමුත් ඇගේ හන්තාන සිහිනය නෙළා ගන්නට සමත් වූ බව ගීතය කෙරෙන් ප්‍රකාශ වෙයි.



ඇය යන්න ගියා මැකිලා ගීත විචාරය


දෙසවන සිසාරා හදවතට ළං වෙන මියුරු සරයයි මේ.....

ප්‍රේමයේ සැබෑම පරිත්‍යාගය නම් අහිමි වූ බව දැනගෙන එය විඳ දරා ගැනීම යි. ඇය යන්න ගියා මැකිලා ගීතය එයට කදිම නිදර්ශන සපයයි. ගී පද රචකයා වන සුනිල් සරත් පෙරේරා මෙම ගීතයට සොබාදහම ආරෝපණය කරයි. වස්ගමුව පරිසරය හා බැඳි චමත්කාරය චිත්‍රණය කරයි. " ඇය " යන්නෙන් පරිසරය සංකේතවත් කරන බව ඔහු පෙන්වා දෙයි. රචකයා තම ගීතයට කුමන අර්ථයන් උකහා ගත්ත ද රස විඳින්නාට ගීතයට හානි නොවන ලෙස රස විඳීමේ නිදහස හිමිව තිබේ. මට මේ ගීතය සවන රැඳුන මොහොතේම කවියක් සිහියට නැගුණි. ඒ සිරි ගුනසිංහයන්ගේ මතක වස්තුවේ මා හැර දා දර දඩු කොට දා මා අත් පා ඇය යන්න ගියා මැකිලා පද පෙළ යි. කවි පෙළේ හා ගීතයේ එකම අර්ථය ලෙස මට හැගී ගියේ මෙහි සිටින කථකයාගේ බිරිඳගේ වියෝව යි. 

විප්‍රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිට ම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්‍රකම්පනයට පත් කරන්නා වූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුව ද, විප්‍රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයක දී එය තවත් ප්‍රබල බවට පත් කරයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ම ය. එය සඳහටම වෙන් වීමක් වූ විට ඒ වේදනාව තවත් ප්‍රබල වෙයි. රචකයා මෙහිදී ප්‍රතිනිර්මාණය කරන්නේ එබඳු සදාකාලික වෙන්විමකි. ඒ වියෝව කලාත්මකව ඉදිරිපත් කරනු පිණිස රමණීය පරිසරයක් පිළිබඳ චිත්‍රයක් කවියා විසින් මවනු ලබයි.

ඇය යන්න ගියා මැකිලා 

වන සිරසක තුරු සෙවණැලි අතරේ 

ගී ගයමින් හිඳ මා තුරුලේ 

ඈ යන්න ගියා මැකිලා 

පිණි කදුළක් මල් පෙති අඟ තවරා 

මීදුම් සළුවෙන් මුහුණ වසා 

ප්‍රේමයේ ශෘංගාරය අත්විදිද්දී ඔවුන් ගත කළ සුන්දර නිමේෂයන් දෘශ්‍යගෝචර අයුරින් චිත්‍රණය කර මෙහිදී ඉදිරිපත් කරයි. මේ මැකී යාම ඇය මෙලොවින් සමු ගැනීමක් බව රචකයා සංකේතවත් කරයි. කථකයාගේ දෑස් අඟින් වැටෙන කදුළු මල් වඩමේ මල් පෙති අතර පිණි බිංදු මෙන් රැඳී තිබෙයි. සුදු රෙදි කඩකින් ඇගේ මුහුණ වසා දැමීම රචකයා දකින්නේ මිහිඳුම් සළුවකින් මුහුණ වැසී යාමක් ලෙස යි. " වන සිරස, තුරු සෙවණැලි, පිණි කඳුල, මල් පෙති " ආදී යෙදුම් ප්‍රේමයේ සෞන්දර්යය චිත්‍රණය කිරීම සඳහා රචකයා ඉවහල් කර ගනී.

නිල්ල නිලන නිල් කඳු වැටී අතරේ 

සඳ එළියේ මං පෙත පාදා 

රහසක් සඟවා ගොළු වූ හඳකින් 

යන්න ගියා මැකිලා 

ජීවිතයේ අනිත්‍ය බව නොරහසකි. නමුත් ප්‍රේමයේ සදාතනික බව සංසාරගත චාරිකාවකි. ප්‍රේමය හිමි වී අහිමි වීම තවත් දුක්මුසු කතාන්දරයකි. එම කතාන්දරය තුළ තෙරපෙන කථකයාගේ සංවේදනාවන් සියුම් ලෙස මතු පිටට ගෙන එයි. 

යළි කවදාවත් හමු නොවනා බව 

මඳ පවනක් හිස අතගා කීවද 

අඳහා ගන්නට නොහැකිය කිසිවිට 

ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර 

කවියෙකු තුළ තිබෙන තෙවැනි ඇස පරිකල්පනීයව යොදා ගනී. මඳ පවන විත් කථකයාගේ හිස අත ගා සනසන බව පසක් කරයි. මියුරු පඳ වැල් අතරින් ගලන ශෝකීරාව කථකයාගේ හදවත කම්පනයට පත් කරයි. විරහව බුක්ති විඳින්නා තුළ පවතින ආත්මීය වේදනාව ඉදිරිපිට ධර්මතාවය පවා නිහඬ යි. කථකයා තමාගේ බිරිඳ මිය ගියා යැයි පිළිගැනීමට අකමැතියි. මන්දයත්, එය කථකයාට අමතක නොවන සිහිනයකි. යළි කවදා හෝ නැවත ඇය පැමිණෙතැයි බලාපොරොත්තු සහගතව බලා හිඳී.

හඳ එළියෙන් නැහැවුණු කඳු වැටිවල දෝංකාරය දෙමින්, පිණි කදුළු සිප ගත් මඳ සුළගේ දැවටී එන ඒ විරහ වේදනාව, වන සිරසක තුරු සෙවණැලි අතරින් ගලා ගෙන විත් හදවතේ ගඹුරුම තැන ලැඟුම් ගනියි.



Monday, July 12, 2021

කිරිඳි ඇල්ල




   
වනපෙත මැද නිසලව ඇඳ හැලෙන දර්ශනීය කොමළිය ඇය නමින් කිරිඳි ඇල්ල යි. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය කොට්ඨාසයේ කුට්ටපිටිය ග්‍රාමයේ කිරිඳි ඇල්ල පිහිටා තිබේ. පැල්මඩුල්ල නගරයට පිවිස කුට්ටපිටිය ග්‍රාමයට කිලෝමීටර් 6ක් ගිය තැන මේ සුන්දර ඇල්ල දර්ශනය වේ. වාහනයක ගමන් කරන්නේ නම් දිය ඇල්ලට ප්‍රවේශ වෙන ස්ථානයටම මාර්ග පහසුකම් සලසා තිබේ. නමුත් ස්වාභාවදහමේ අසිරිය කොතෙක්ද කියනවා නම් ඇල්ලේ සැබෑ සුන්දරත්වය විඳින්නට නම් පැය භාගයක් විනාඩි 45ක් වැනි වෙහෙසකර ගමනක යෙදිය යුතු ය. අපගේ ස්වභාවදහම් මාතාවට උරුම මේ ලස්සන ඇල්ල සුරක්ෂිත කළ යුත්තේ මවක් දියණියක් සුරකිනවා හා සමානව යි.

  කිරිඳි ඇල්ල සංරක්ෂණය කිරීම හා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ඇල්ලට පිවිසෙන මාර්ගය සිමෙන්ති පඩියෙන් බැඳ තිබුණ ද සීග්‍රබෑවුම නිසා පඩි බැසීම නැඟීම මඳක් දුෂ්කර වේ. නමුත් ඒ දුෂ්කර බව පහව යන්නේ කිරිඳි ඇල්ලේ සුවදායක බවත් සමඟ ය. කිරිඳි ඇල්ල නරඹන්නන්ගේ ගත සිත කුල්මත් කරමින් ගමනාන්තයට පිවිසීමේ කුතුහලය වර්ධනය කරන්නේ වන ලැහැබේ නැවුම් බවත්, පළා වර්ණයෙන් දිලිසෙන රුක් ගොමුවත්, කුරුල්ලන්ගේ මිහිරි ගායනයත් ය. ඇල්ලට පිවිසෙන මාර්ගය අතරමැද නැරඹුම් පීඨිකාවක්ද ඉදි කර තිබේ. එම පීඨිකාවට කිරිඳි ඇල්ල ඉතාමත් රමණිය ලෙස දර්ශනය වන අතර සුන්දර ඇසක් හිමි කලාකාමීයෙකුට එය අපූරු කලාගාරයකි.

                                                                                 
                                                                                           නැරඹුම් පීඨිකාවට දර්ශනය වන කිරිඳි ඇල්ල 
                                                                        
                                                                                                            සුදු සේල දවටා 
                                                                                                            වැතිරුණු ළඳුනා
                                                                                                            ගල මත ලිස්සා 
                                                                                                            යන මේ ගමනා 
                                                                                                            නෙත සිත බඳනා 
                                                                                                            ඇය දුටු විගසා 
                                                                                                            කෙසේ හිඳින්නද 
                                                                                                            තුරුළු නොවීලා 

   කිරිඳි ඇල්ලට පිවිසෙන මාර්ගය නිසි ආකාරයෙන් නඩත්තු නොවීම නිසා ක්‍රමයෙන් අභාවයට යමින් තිබේ. මේ වන විට ඉදි කිරීම් කොතෙක් දුරට විනාශ වී තිබේද යත් පළමු නැරඹුම් කුටියේ සිට පහළට බැසීමට තිබෙන පඩි පෙළවත් සොයා ගත නොහැකි තරමට වල් බිහි වී ඇත. ඇල්ල පාමුලදී ගල් තලාවෙන් ඇඳගෙන වැටෙන කිරි සුදු සිහින් දිය දහරාව නරඹන්නන්ගේ හැඟීම් මුසපත් කරන්නේ සොබාදම් මෑණියගේ පිවිතුරු බවත් ස්මරණයට නංවමිනි.

  කිරිඳි ඇල්ලට මේ 'කිරිඳි' යන නාමය ලැබී තිබෙන්නේ කිරිඳි වැල් බහුලව මේ ප්‍රදේශයේ තිබූ නිසා බව සැලකේ. ඇල්ල පහළ තිබෙන දියගත් වළ අධික නියන් සමයේ හිස් කිරීමෙන් වැස්ස ලැබෙන බවත්, කෙම්මුර දවස්වල රාත්‍රී කාලයේ ඇල්ල දෙසින් මිනිස් කට හඬක් රැව් පිළිරැව් දෙන බවත්, ගන අඳුරේ ගිනි බෝල වැනි අග්නි ජාලාවක් මතු වී ඇල්ලට ඉහළින් විසිරී යන බවත් ගැමියන් අතර විශ්වාසයක් පවතී.

මීටර් 940ක් උස කුට්ටපිටිය කන්දෙන් ආරම්භ වන කිරිඳි ඇලි කොමළිය බබරබොටුව මහා වන මැදින් දෙවනක ගග දිගේ කළු ගගට ගලා බසී. කිරිඳි ඇල්ලේ උස මීටර් 116ක් වන අතර ලංකාවේ උසින් හත්වැනි ස්ථානය හිමි කර ගන්නේ කිරිඳි ඇල්ල යි. රත්නපුර දිස්ත්‍රික්කයේ උසින් දෙවැනි තැන හිමි කර ගන්නේ මේ රමණිය දිය ඇල්ල යි. 

   වර්ෂාව අධික කාලයක ඇල්ල නැරඹීමෙන් ඇල්ලේ සැබෑ සුන්දරත්වය ආශ්වාදනය කිරීමටත්, පරිසරයේ නැවුම් බවත් අත්විඳිය හැකි ය. දිය ඇල්ල පාමුල දිය නාන්න සුදුසු පරිසරයක් නොමැති නමුත් හාත්පස ගල් ගොඩවලින් වට වී තිබීම හේතුවෙන් අනෙකුත් දිය ඇලිවලට වඩා වෙනස්ම මනස්කාන්ත දර්ශනයක් බිහිව තිබේ. දිය ඇල්ල මුදුනේ ස්වභාවිකව නිර්මාණය වී තිබෙන ලස්සන දිය තටාක දැකිය හැකි ය. එම ස්ථානයට ප්‍රවිෂ්ට වීමෙන් පසු සුරගනා ලොවකට ගියා වැනි අමුතුම හැඟීමකින් ජනයා ප්‍රබෝධයට පත් කරයි. දිය ඇල්ල මුදුනට යෑම සඳහා පඩිපෙළ ඉහළට නැඟ කුට්ටපිටිය තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති පොඩි අඩි පාරෙන් යා යුතු ය.

  ස්වභාවදහම විඳින්නෙකුට නම් කිරිඳි ඇල්ල කදිම නවාතැනකි. ඉතාමත් සුන්දර මෙන්ම සන්සුන් ලීලාවෙන්  ගල්තලාව දිගේ සළු විහිදාන පහළට ගලා යන කිරිඳි ඇලි කොමළිය දුටු විට දැහැනකට සම වැදුනාක් මෙන් දැනේ. ගල් තලාව මතින් නොයෙකුත් රටා මවමින් පහළට වැටෙන දිය දහරාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය හැකි ය. එමගින් නැඟෙන ශබ්දය කනට මිහිරි ය. ඔබ බලංගොඩ නගරය දෙසට පැමිණෙන්නේ නම් පැල්මඩුල්ල නගරය පසු වී මඳක් ඉදිරියට විත් වම් අත පැත්තේ කුඹුරු යායත් සමඟ ඈත වන ලැහැබ දෙස බලන්න. එවිට නිසලව ඇඳ වැටෙන කිරිඳි ඇලි කොමළියගේ මනස්කාන්ත දර්ශනය පෙනෙනු ඇත. ලක් මෑණියගේ ස්වභාවදහම් මාතාවගේ මෙවැනි චමත්කාර නිමැවුම් මතු පරම්පරාවටත් උරුම කර දීම අප සතු වගකීමකි.

අපි පා සටහන් තබා මතක සටහන් පමණක් රැගෙන එමු...


                                                                                                          -සෙව්වන්දි ප්‍රසාදිකා-



හීනය

  හීන දුරුත්තේ  හිරිපොද වැස්සේ  පාලු සැන්දෑවක  අඳුර මැදින්  නුඹේ සිනා මුව  හීන ගේනවා  ඈත දුරක මිය ඇදුන පෙමින්