Saturday, July 31, 2021

සිංහල නට්‍ය කලාවේ සම්භවය

       

සිංහල නාට්‍ය කලාවේ සම්භවය පිළිබඳ පර්යේක්ෂණවල නිරත වන ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ ලංකාවේ දියුණු නාට්‍ය කලාවක් නොතිබුණු බව යි. විශේෂයෙන් ම මේ සඳහා ප්‍රධාන කාරණා දෙකක් හේතු කාරණා වූ බව ඔවුන්ගේ මතය වේ. පළමුව ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය නාට්‍ය කලාවට ආරම්භය සඳහා අවශ්‍යය පසුබිම සකස් නොවුනු බවයි. දෙවනුව මෙරට ජනයා ශාන්තිකර්ම ඔස්සේ නාට්‍ය රසය ලැබුණු නිසා නාට්‍ය කලාවක අවශ්‍යතාවයක් නොදැනුන බව යි. 

උඩරට, පහතරට, සබරගමුව ප්‍රදේශයන්හි පැවැති ශාන්තිකර්ම ආශ්‍රිතව නාට්‍යමය පෙළපාලි දැකිය හැකිය. උඩරට කොහොඹා කංකාරියේ හමුවෙන ගුරුගේ මාලාව, යක්කම් ගබඩා කොල්ලය ආදී පෙළපාලිවලත්, පහතරට රට යැකුමේ නානුමුරය, දරු නැළවිල්ල ආදී පෙළපාලිවලත්, දහඅට සන්නියේ බොහෝ පෙළපාලිවලත් නාට්‍යමය ලක්ෂණ දැකිය හැකිය. එකී පෙළපාලි ඔස්සේ නාට්‍ය රස විඳි නිසා සිංහලයාට නාට්‍ය කලාවක අවශ්‍යතාව නොදැනෙන බව එක් මතයකි.

ලක්දිව දියුණු නාට්‍ය කලාවක් සම්භවය නොවන්නේ බුදුදහම නිසා යැයි මතයක් පවතී. මෙකී මතය ඉදිරිපත් කළ විද්වතුන් අතර මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රමුඛයෙකි. සිංහල නාට්‍ය පිළිබඳව දේශීය වශයෙන් පුරෝගාමීව කටයුතු කළ විද්වතුන් අතර සරච්චන්ද්‍රයන්ගේ  ප්‍රධානත්වය හිමිවේ. ඔවුන් ඒ සම්බන්ධව ඉදිරිපත් කළ පර්යේෂණ ග්‍රන්ථය 1952 දී  the folk drama of ceylon යනුවෙන් ඉංග්‍රීසියෙන් පළවන අතර එය 1968 දී "සිංහල ගැමි නාටකය" යනුවෙන් සිංහලයට පරිවර්තනය විය. එහි සිංහල නාට්‍ය කලාවේ උපත පිළිබඳ මෙසේ පවසයි. 

" ලෝකයේ වෙනත් රටවල මෙන්ම ලක්දිව ද නාට්‍ය කලාවේ උපත සෙවිය යුත්තේ ලාංකික ආගමේ වන්දනාමාන, පූජෝත්සව සහ යාගහෝම ආදී යැයි සිතීම යුක්ති යුක්ත ය. එහෙත් මේ ප්‍රශ්නෙ ටිකක් ගැටලු සහිත එකක් වන්නේ ලාංකික ආගම යනු කුමක්ද කියා මනාසේ විග්‍රහකොට බැලීමට සිදුවෙන බැවිනි. ලාංකික ආගම බුද්ධාගමයි ඉඳුරා පිළිතුරු දීම අපේ පර්යේෂණය සඳහා ප්‍රමාණවත් නොවන බව පෙනේ. මක්නිසාදයත්, බුද්ධාගමේ මුහුණුවර  ද හැම රටක් පාසාම වෙනස් වන හෙයිනි. අප මෙහිදී සලකන්නේ බුද්ධ ධර්මය නොව පාරිභාරික බුද්ධාගම බව ද එනම්, සමාජයේ ආයතනයක් වශයෙන් පවත්නා බුද්ධාගම බව ද අප විසින් අමතක නොකළ යුත්තකි. "

පෙර අපර දෙදිගම නාට්‍ය කලාවන්හි ම සම්භවය සෙවීමේ දී ආගමික මූලාශ්‍ර වෙත අවධානය යොමු වූ බැවින් සිංහල නාට්‍ය කලාවේ සම්භවය සෙවීමේදී ද බෞද්ධාගමික පුදපූජා, සිරිත්විරිත් වෙත අවධානය යොමු කිරීම සාධාරණ බැව් පෙනේ. නමුත් මෙම සංකල්පය කොතෙක් දුරට යුක්ති යුක්ත දැයි සොයා බැලීම අත්‍යාවශ්‍ය යි. ලංකාවට බුදු දහම හිමිවන්නෙ කිස්තු පූර්ව තුන්වන සියවසේ ය. නමුත් විජයාවතරණය සිදු වන මොහොතේ භාරතයෙහි දියුණු නාට්‍ය කලාවක් පැවති බව අමතක නොකළ යුතුයි. විජය භාරතීය සංස්කෘතිය මෙරටට හඳුන්වා දෙනු ලැබූ අතර එයට නාට්‍ය කලාව ද අයත් වන්නට ඇතැයි සිතීම යුක්ති යුක්තයි. භාරතය සමඟ වරින් වර සිදු වූ විවිධ ගනුදෙනු පිළිබඳව සඳහන් වන නිසා ලාංකික ජනයා භාරතීය නාට්‍ය කලාව පිළිබඳ දැන සිටින්නට ඇතැයි සිතිය හැකිය. 

සිංහල නාට්‍ය කලාවේ සම්භවය සොයා බැලීමේ දී  බුදු දහමේ පරමාර්ථ වෙත සරත්චන්ද්‍ර මහතා අවධානය යොමු කරයි. " බුද්ධ ධර්මයේ මූලික අනුශාසනා දෙස බලන විට අපට පෙනෙන්නේ බුද්ධාගම වෙනත් ආගම්වලට වඩා බෙහෙවින් වෙනස් බව ය. බුද්ධාගමේ පූජාකර්ම, යාග යාගහෝම ආදිය වෙන ආගම් හා සසඳන විට ඇත්තේ ස්වල්ප වශයෙනි. ඒ නිසා එය සාමූහික වන්දනා මානයෙන් තොරය. බුද්ධාගමේ පරමාර්ථය පුද්ගල විමුක්තිය යි. එනම් පුද්ගලයා තමාගේම ව්‍යායාමයෙන් හා අධිෂ්ඨානයෙන් සසර දුකින් මිදීම  ය. දෙවිවරුන් සරණ යාමෙන් මෙය ලබාගත නො හැක්කේ ය. එබැවින් බුද්ධාගමේ වෙන ආගම්වල ඇති විදියෙ දේව භක්තියක් නැත. "

සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කරන අන්දමට බුදු දහම සාමූහික වන්දනා මානවලින් තොර වූයේ නැත. මහාවංශයට අනුව ශ්‍රී මහා බෝධියට පූජා පවත්වනු පිණිස ලක්දිව සතර දිග් භාගයෙහි ජනයා රැස් වූහ. මිහිඳු හිමියන්ගේ පිරිනිවන් පෑමෙන් පසු උත්තිය රජ තෙමේ ඒ ඒ දිගින් ආ මහජන සමූහයා හා කැටිව පූජා සත්කාර කරවා ආදාහනය කළ බව සඳහන් ය. ඉතිහාසය විමසන විට අතීතයෙහි බුදු දහම දේව වන්දනාවෙන් තොර වූයේ ද නැත. බුදුන් වැඩම කළ දවසෙහි සුමන සමන් දෙව්රද සෝවාන්  වූ බවත්, බුදුන් වහන්සේගේ කේශධාතු නිධන් කර ස්ථූපයක් ගොඩ නැඟූ බවත්, මහාවංශයේ සදහන් ය. ඒ වගේ ම මහජනයාගේ එදිනෙදා අවශ්‍යතාවන්ට බුදු දහමෙන් පිහිටක් නොලැබුණායි කීම ද සාවද්‍යයි. අංගුලිමාල පිරිත දේශනා කිරීම, නම් තැබීම, ඉඳුල් කටගෑම, මරණය වැනි සෑම අවස්ථාවකදීම භික්ෂූවගේ සහයෝගය ලැබුණු බව අමතක නොකළ යුතුය. ඒ නිසා ලක්දිව නාට්‍ය කලාවක් දිවීම සඳහා බුදු දහමෙන් අනුබලයක් නොලැබුනේය යන්න සාධාරණ තර්කයක් නොවේ. ඉතිහාසය විමසා බැලීමේ දී ලංකාවේ නාට්‍ය කලාවක් පැවති බවට සාධක බොහෝ ය.  

ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම ලංකාවේ දියුණු නාටක කලාවක් නැතහොත් නෘත, නෘත්‍ය හා නාට්‍ය සම්ප්‍රදායක් පැවති බව සනාථ ය. විජය කුමරු  කුවේණියගේ උපකාරයෙන් ස්වදේශික යක්ෂ ගෝත්‍රිකයන් පරාජය කරන්නේ ඔවුන්ගේ මංගල උත්සව අවස්ථාවක දී ය. ඒ උත්සවයේ දී තූර්ය නාද සහිත ගීත ගායනා කළ බව මහාවංශයේ කියැවේ. ඒ වගේම පණ්ඩුකාභය රජතුමා චිත්තරාජ නම් යක්ෂයා සමඟ එකතුව සමාසනයේ හිඳ දිබ්බමානුස නම් නාට්‍ය විශේෂයක් රස විඳිමින් රති ක්‍රීඩාවෙන් යුක්තව අභිරමණය කළ බව කියැවේ. මෙම නාටක දිබ්බමානුස යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ දෙවියන් විසින් බිහිකරන ලද අර්ථයෙන් විය හැකි වන අතර සංස්කෘත නාට්‍යයේ ද කියැවෙන්නේ නාට්‍ය දෙවියන්ගේ දායාදයක් වූ බව ය.

බුදුදහම ලක්දිවට සැපත් වීමෙන් අනතුරුව ද භාරතය සමඟ පැවති සමීප ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස සංගීතය, නාට්‍ය, නර්තනය වැනි සෞන්දර්ය කලාවන් වර්ධනය වූයේ ය. බුදු බුදුදහමෙහි ප්‍රචලිතව පැවති අවදියේ පවා වෘත්තීය නළු නිළියන් වූ බව ද පැරණි ලෙන් ලිපිවලින් පැහැදිලි වේ. නාට්‍ය කලාවේ වර්ධනයට බුදු දහමින් පිටුබලයක් නොලැබුණේ නම් මෙසේ නළු නිළියන් ලෙන් පූජා නොකරනු ඇත. ඒ වාගේම ප්‍රාග් බෞද්ධ සමයේ පටන් ලක්දිව දියුණු නාට්‍ය සම්ප්‍රදායක් පැවති බව වෘර්තීය නළු නිළියන් සිටීමෙන් පැහැදිළි වේ.

බුදුදහම ප්‍රචලිත වීමෙන් පසුව ද බෞද්ධාගමික වන්දනාමානවල දී නර්තනය හා සංගීතය අනිවාර්ය අංගයක් විය. සිංහල ධාතු වංශයට අනුව මංගල මහා චෛත්‍යයෙහි ධාතු නිධාන උත්සවයට කාවන්තිස්ස රජතුමා සහභාගී වූයේ නැටුම්, ගැයුම්, වැයුම් සහිත නාට්‍යාංගනාවන් පිරිවරාගෙන ය. දුටුගැමුණු රජතුමා ද රත්නමාලී චෛත්‍ය ගොඩනැංවීමේ ආරම්භක අවස්ථාවට සහභාගී වූයේ නාටිකාංගනාවන් පිරිවරාගෙන බවට සඳහන් වේ. " ඒ රජ තෙමේ වනාහි ඉන්ද්‍රගුප්ත නම් ස්ථවිරයන් හා නාටිකාංගනාවන් සමඟ ධාතු ගර්භය හරිමින්.." යනුවෙන් ධාතු නිධන් කිරීමේ උත්සවය පිළිබඳව නාටිකාංගනාවන්ගේ සම්බන්ධය සඳහන් කරයි. අනුරාධපුර අවධියේ දී ආගමික පුද පූජාවලදී පමණක් නොව ලක්වැසියා සාමාන්‍ය ජීවිතයේදී ද නර්තනය සංගීතය රස විඳි බව සැබෑ ය. ගෝඨයිම්බර යෝධයා තම බිරිඳ ස්වර්ණාභරණයෙන් සරසා නාටක ජනයන් කැඳවා කැමති පරිද්දෙන් බෙර ගසා ගී කියන ලෙස නියෝග කොට මධු පානයෙන් යෙදී සතුටු වූ බව සඳහන් ය. 

අනුරාධපුර යුගයේ ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථවල ද සඳහන් තොරතුරුවලින් පෙනී යන්නේ ද එකල නාට්‍ය කලාව දියුණුව පැවති බවයි." සේන සලමෙවන් රජු" රචනා කරන සියබස්ලකර ආරම්භ වන්නේ මෙසේ ය.

පෙදෙන් බුදු සිරිත සිරිතැ

 බසින් වත් සිරිත් ඈ 

පද යුතු බසින් නළු ඈ 

අනතුරු ලකුණු දක්වම්

මෙහි නාට්‍ය සඳහා ගද්‍ය පද්‍ය දෙකම යොදා ගත යුතු යැයි සඳහන් වේ. සියබස්ලකර වූ කලී සංස්කෘත අලංකාරවාදී ග්‍රන්ථයක් වන කාව්‍යදර්ශයෙහි සිංහල ග්‍රන්ථයකි. එහි මෙකී ගීතය ඇතුළත් නොවේ. එසේ නම් සියබස්ලකරට මෙවැන්නක් ඇතුළත් කළේ එවකට දියුණු නාට්‍ය සම්ප්‍රදායක් පැවති නිසා ය.

පොළොන්නරු අවධියෙහි ද නාට්‍ය කලාව පිළිබඳ තොරතුරු ඇතුළත් ය. මහාවංශයේ සඳහන් ආකාරයට පරාක්‍රමබාහු රජතුමා ආගමික අවශ්‍යතාවයන් සඳහා කළ ධර්මාගාරයෙහි පවා නර්තනය හා සංගීතය දක්නට ලැබුණි. " තථාගත පූජාව පිණිස අනුත්තර වූ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය පිණිස ද ඒ පරාක්‍රමබාහු රජු පැමිණි කල දිව්‍ය  සංගීත සමාන කොට ළයාන්විත වූ මධුර ගායනා කොට රැඟුම් දක්වන්නා වූ නළඟනන් ..."

තවද මේ යුගයේ ලෞකික අවශ්‍යතාවන් සඳහා නර්තනය ඇතුලු කලාවන් භාවිත කළ බවට සාධක ලැබේ. පළවෙනි පරාක්‍රමබාහු රජතුමා තම විවේක කාලයේ දී සෞන්දර්ය කලා රස වින්දනය සඳහා සරස්වතී මණ්ඩපය නම් වූ ගොඩනැගිල්ලක් කර වූ බව සඳහන් වේ. මෙතුමා ගේ බිසව රූපවතී දේවිය රංගනයෙන් හා ගායනයෙන් මනා හැකියාවන්ගෙන් යුත් තැනැත්තියක බව සඳහන් ය. ඒ වගේම පරාක්‍රමබාහු රජතුමාගේ ජන්ම භූමිය වූ රෝහණ දේශයේ රංග රංගශාලා පහක් ඉදිකර තිබේ. මීට අමතරව පොළොන්නරලොන්නරු යුගයේ රචිත ග්‍රන්ථවල සංස්කෘත නාට්‍ය කෘතිවලින් උපුටාගත් උදෘතයන් දැකගත හැකිය.

දඹදෙණි අවධියේදී ද නර්තන කලාවන් පැවති බව සනාථ කළ හැකි වේ. ඒ අතර ප්‍රධාන සාධකය වන්නේ දඹදෙණි කතිකාවත යි. එහි භික්ෂූන් වහන්සේලාට කාව්‍ය, නාටක තහනමක් පනවා තිබේ. " කාව්‍ය නාටක ආදී ගර්හිත විද්‍යා තමනුත් නුගත යුතු යැයි අනුනුත් නොගැන්විය  යුතුය." මෙසේ භික්ෂූන් වහන්සේලාට එවැනි කටයුතු තහනම් කළේ එකල භික්ෂුව මෙකී කටයුතුවල නිරත වූ බැවිනි. භික්ෂුවට මෙකී කටයුතු තහනම් කළ ද රජතුමා දෛනික චර්යාවේ එක් අංගයක් ලෙස රාත්‍රී නාට්‍ය ශාලාවේ සිංහාසනාරූඪව වැඩ සිට නළු නිළියන් විසින් දැක්වූ නෘත්‍ය ගීත වාදනයෙන් සන්තෝෂ වූ බව කඳවුරු සිරිත වාර්තා කරයි. තවද  මේ සමයෙහි "ශුංගාර රස රත්නමාලා" නම් නාට්‍ය සිද්ධාන්ත ග්‍රන්ථයක් පැවති බව දක්නට ලැබේ. සද්ධර්මරත්නාවලී කතුවරයාට කවි මළුවෙහි ස්ථාවර පාත්‍රයක් වූ  කෝමාලීන් (කෝළම) පිළිබඳව සඳහන් කර තිබේ.

දඹදෙණි යුගයේ භික්ෂුන් වහන්සේට නාට්‍ය කලාව තහනම් කරනු ලැබුව ද ඉන් අනතුරුව කුරුණෑගල අවධියේ දී ආගමික අවශ්‍යතා සඳහා නාට්‍ය කලාව භාවිත කළ බව දළදා සිරිතෙන් පෙනේ. එසේම දඹදෙණි කතිකාවතේ අවුරුදු සීයක් ආසන්නයේ දී පවා භික්ෂූන් වහන්සේලා නාට්‍ය කලාව ඉගෙනීම හා ඉගැන්වීම් කටයුතුවල නිරත වූ බව දෙව්රද දම් පසඟිනාවන්ගේ දළදා සිරිතෙහි සඳහන් ය.

ගම්පොළ යුගයේ නර්තන කලාව පැවති බව සද්ධර්මාලංකාරයෙන් සනාථ වෙයි. " මෙසේ රිහාල් තිස්සයන් ඔරු බැඳීමෙන් දවස් යවන කල්හි දවසක සක්‍ර දේවේන්ද්‍රයෝ ඔවුන් ශ්‍රද්ධා සම්පත්තිය දැක විමසන කැමතිව නාටක ජනයන් විසුළු පාන්නට ලා ගත් විකට ඡායා රූපයක් සේ ඉතා මහලු වූ බමුණු වෙසක් මවාගෙන..."

මීට අමතරව කෝට්ටේ යුගයේ පවා දියුණු නාට්‍ය කලාවක් පැවති බව සංදේශ ග්‍රන්ථ තුළින් මනාව පැහැදිලිය. කෝට්ටේ යුගයෙන් පසු ඇතිවූ දේශපාලනික හා සංස්කෘතික විපර්යාසයන්හි ප්‍රතිඵලයක් වශයෙන් අඛණ්ඩව පැවති නාට්‍ය කලාව අභාවයට යන්නට ඇත. එසේම අනුරාධපුර අවධියේ සිටම දියුණු නාට්‍ය කලාවක් පැවති බවට සාධක ලැබීමෙන් පෙනී යන්නේ බුදු දහම නාට්‍ය කලාවක පැවැත්මට බාධාවක් වී යැයි ඇතැම් විද්වතුන් ඉදිරිපත් කරන මතය ද සාවද්‍ය බවකි. 

වර්තමානය වන විට සොකරි, කෝලම්, නාඩගම් නමින් නාටක සම්ප්‍රදායන් තුනක් නෂ්ටාවශේෂව පවතී. මෙකී සම්ප්‍රදායන් ගැමි නාටක ලෙස සැලකුවද, ඒවායෙහි දියුණු නාට්‍ය ලක්ෂණ ගම්‍යමාන වන නිසා මෙරට පැවති දියුණු නාට්‍ය සම්ප්‍රදායික නාට්‍ය නෂ්ටාවශේෂ වශයෙන් සැලකිය හැකිය. ඊට හේතුව මෙම රංග සම්ප්‍රදාය විමසා බලන විට පෙනී යන්නේ එකම නාට්‍ය සම්ප්‍රදායකින් පැවත ගෙන එන බව යි. ගැමි නාටක ලෙස සැලකුව ද කෝලම්, සොකරි, නාඩගම් හෙවත් කවි නළුවෙහි ශ්‍රාස්ත්‍රිය පදනමක පිහිටා අධ්‍යනය කළ යුතු බවද බවද හැඟේ. මේ රංග සම්ප්‍රදායන් තුන අතර පවතින සමානතා රැසක් නිසා එකී සම්ප්‍රදායික නාට්‍ය එක් මූලයකින් පැවත එන්නේ යැයි ප්‍රකාශ කිරීමට පුළුවන.

ලංකාවේ බෞද්ධ නාට්‍ය කලාවක් නොතිබුණේ යැයි සඳහන් කිරීමටද නොපුළුවන. දොරකඩ අස්න, ආලවක දමනය හා අංගුලිමාල දමන, ධර්ම දේශනා, සූවිසි විවරණය, සත් සති පූජා වැනි ආගමික අවස්ථා තුළින් සනාථ වන්නේ අදටත් බුදු දහම හා රංග කලාව ඉතා සමීප ඇසුරක් පවත්වන බව යි. ඒ නිසා ලක්දිව දියුණු නාට්‍ය කලාවක් පැවති බවත්, එය විවිධ බාහිර හා අභ්‍යන්තරික සාධක හේතුකොටගෙන පරිහානියට යන්නට ඇති බව සැලකීම යුක්ති යුක්ත ය.


 

   




No comments:

Post a Comment

හීනය

  හීන දුරුත්තේ  හිරිපොද වැස්සේ  පාලු සැන්දෑවක  අඳුර මැදින්  නුඹේ සිනා මුව  හීන ගේනවා  ඈත දුරක මිය ඇදුන පෙමින්