ජනශ්‍රැතිය තුළ අන්තර්ගත වන්නේ මිනිසාගේ සාමූහික චින්තන නියෝජනය යි.
මිනිසා සිය අදහස් හුවමාරු කර ගැනීමට භාෂාව යම් අවධියක උපයෝගී කර ගත්තේ ද ඒ අවදියෙහි ම ජනශ්‍රැතිය ආරම්භ වූයේ යැයි සිතිය හැකිය. තිඹිරි ගෙයි සිට සොහොන් ගෙය දක්වා යන මානවයාගේ ජීවිත කාලය තුළ හෙතෙම ජීවත් කරවන අවිඥානික මාධ්‍යක් ලෙසින් ජනශ්‍රැතිය, ජාතික සංස්කෘතියක් දැන ගැනීමටත් එයට අයත් කරුණු සෙවීමටත් අතිශයෝපකාරී වෙයි. ජනශ්‍රැතිය වනාහී තනි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවක් නිසා ඇති වන්නක් නොවේ. එය සමාජීය අවශ්‍යතාවක් අනුව ඇති වන්නකි. එබැවින් ජනශ්‍රැතිය අතීතයට හෝ වර්තමානයට පමණක් අදාල වූවක් නොවේ. සමාජීය, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අනාගත යුගයන් වෙත ද දැනුම් සම්ප්‍රේක්ෂණය කරන මාධ්‍යකි. කවර ජනශ්‍රැතියකට වුවද පාදක වන්නේ ජනයා ජීවිතය හා පරිසරය ඇසුරෙන් ලබන අත්දැකීම් හා හැඟීම් දැනීම් ය. පරිසරය මිනිස් අවශ්‍යතා සඳහා ගළපා ගන්නා ආකාරය තුළ මිනිසා අද්දැකීම් ලබා ගනී. අතීත මිනිසා ස්වභාව ධර්මයේ විවිධ සංසිද්ධි පිළිබඳ යථරූපිව වටහා ගත නොහැකි වූ තැන ඒවාට ජීවාරෝපනයක් දී වැඳුම් පිඳුම් කිරීමටත් විවිධ විශ්වාස පද්ධති ගොඩනගා ගැනීමටත්, පුරුදු විය. ඒවා ජනශ්‍රැතිය ඔස්සේ පැවත එමින් අතීත ජනයාගේ සාමූහික චින්තන ශක්‍යතාව හෙළි කරයි.
මානවයාගේ චින්තනය යනු ජනශ්‍රැතියේ ගැබ්ව ඇති ආකල්ප, සංකල්ප, හැඟීම්, දැනීම් අදියයි. ජනශ්‍රැතියේ වාච්‍යාර්ථයට ඉදුරාම විරුද්ධ අදහසක් අභ්‍යන්තර වශයෙන් අඩංගු විය හැකි ය. ජනශ්‍රැතිය තුළ වාච්‍යාර්ථය ඉක්මවා ගිය වවාච්‍යාර්ථය ජන විඥානය වේ. ජනශ්‍රැතිය අධ්‍යනය කරන කල්හී පෙනී යන්නේ යම් ජනශ්‍රැතියක මිනිසාට අන්තර්ගත කිරීමට අවශ්‍ය වූ දෙය සෘජුවම නොපවසා එය ඉතා නිර්මාණශීලිව ඉදිරිපත් කොට ඇති බවයි. සොබාදහම හා බද්ධ වූ මිනිසා විසින් තමා දුටු අපූර්වත්වය වටහා ගැන්මට අපහසු දෑ, දැනුම, තනිකම, තමා සන්තක දැනුම ආදී සෑම ඉසව්වක්ම නියෝජනය කිරීම උදෙසා ජනශ්‍රැතිය යොදා ගනී. මානවයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගබඩා කොට තබන ලද සාමූහික චින්තනයේ පරිමිතියන් කවරේ ද යන වග මැනවින් වටහා ගැනීමට ජනශ්‍රැතිය විදාරණය කොට බැලිය යුතු ය.
නිදසුනක් ලෙස උරගලොවේ භූතාත්මලාභියෙකු ලෙස සැලකෙන බෝදිලිමා කටුසු පවුලේ සාමාජිකයෙකි. බෝදිලිමා පිළිබඳ ශ්‍රැති බොහෝ දුරට ජනප්‍රියව පවතින්නේ නුවර කලාවිය ප්‍රදේශයේ ය. බෝදිලිමාගේ ප්‍රභවය සම්බන්ධයෙන් විමසන විට පෙනී යන්නේ ඒ හා සබැඳි ශ්‍රැතීන් කිහිපයක් පවතින බව යි. එබඳු ශ්‍රැතියකට අනුව ගර්භනී කාන්තාවකට ඇගේ ස්වාමියා විසින් පහර දී නිවසින් පිටුවහල් කොට ඇත. පහර කෑ වේදනාවෙන් දරුවා ප්‍රසූත කොට ගත නොහැකිව මළ ඈ බෝදිලිමා ආත්මයක් ලබා ඉපදී ඇත. මෙසේ භූතාත්මයක් ලද ඇයව ගැබිනියක ප්‍රසූත වේදනාවෙන් නඟන හඬට සමාන හඬක් නඟමින් රාත්‍රියේ දී පිරිමින් බිය ගැන්වීමට පටන් ගෙන තිබේ. මේ හා සමානව තවත් ශ්‍රැතියක දැක්වෙන්නේ ඉතා ආදරයෙන් ආශ්‍රය කළ ගම්බඳ යුවළකට දාව දරුවෙකු ලැබෙන්නට ගිය අවස්ථාවේ බිරිඳ තිඹිරි ගෙය තුළදී ම මියගොස් බෝදිලිමෙකු වූ බවයි. මේ ශ්‍රැතියෙන් පැවසෙන මිනිස් චින්තනය නම් පුනරුප්පත්තිය ගැන විශ්වාසය තැබූ මේ අතමභාවයේ යම් ප්‍රතිඵල ඊලග ආත්මභාවයේ දී ක්‍රියාත්මක වන බවට ලද ආගමික පරිචයත්, පව් පල දීම යන ආගමික සංකල්පයත්, ගර්භනී මාතාවන් ඉතා ගෞරවයෙන් රැක බලා ගත යුතුය යන සමාජ සාරධර්මය උද්දීපනය කිරීම යි.
විශේෂයෙන්ම ජන ආගම, ජන ශාන්තිකර්ම හා ජන වෙදකම කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මිනිසාගේ සාමූහික චින්තනය ප්‍රකට කරයි. ආගමික ඇදහිලි, විශ්වාස, අභිචාර විධි ආදී මිත්‍යාවන් නිසා සමූහයක් ලෙස පැන නඟින විශ්වාස විවරණය වී ආගමික ඇඳහිල්ලක් ලෙස එක්තරා ආකාරයකට ගොනු වීමක් සිදු වේ. විජය කුවේණි කතා පුවත දෙස අවධානය යොමු කිරීමේ දී එම කතා පුවත අද දක්වාම පැමිණීමට හේතු වී තිබෙන්නේ මානවයන් විසින් ගොඩනගා ගෙන තිබෙන සාමූහික චින්තනයේ ප්‍රතිඵලයකිනි. ඒ කතා පුවතත් සමඟ ඇදහිලි, විශ්වාස, ශාන්තිකර්ම, සිංහල වෙදකම පවා ගොඩනැගී තිබෙන බවත් ඒවා අද දක්වාම පැවත එන බවත් පෙනේ. විජය රජු කුවේනියට දුන් පොරොන්දු කඩ කොට දරු දෙදෙනා සමඟ ඇයව පලවා හැරීම නිසා කුවේණිය විසින් කරන ශාපයත්, එය පඩුවස් දෙව් රජුට බලපෑ හෙයින් එම දිවි දොස දුරලීමේ යතු කර්මය හෙවත් කොහොඹා යක් කන්කාරිය ශාන්තිකර්මය පැවැත්වූ බව පෙනේ. අදටත් ජනයා අස්වනු ශාශ්‍රික කර ගැනීමටත්, සෞභාග්‍යය, සමුද්ධිය උදා කර ගැනීම සඳහාත්, වසංගත රෝග, ලෙඩ දුක් අතුරු අන්තරා නැති කර ගැනීම සඳහාත් මේ ශාන්තිකර්මය පවත්වයි. කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආ විශ්වාස මඟින් මිනිස් චින්තනය ගොඩනැගී තිබෙන බව මින් පෙනේ.
ලාංකේය ශිෂ්ටාචාරය තුළ විශිෂ්ටත්වයක් දක්වන ශෛලමය මූර්ති හා කැටයම් කලාවත් ප්‍රතිමා, වාපී ශිෂ්ටාචාරය ආකාස්මිකව පහළ වූ සම්පත් නොවේ. ඒවා පාරම්පරිකව ආ විඥානයට කලින් කලට එකතු වූ නව දැනුම ඔස්සේ ප්‍රවර්ධනය වී ජන සමාජයට පහළ කරගත් ජීවමාන ජනශ්‍රැතික සාධකයන් වේ. විශේෂයෙන් අනුරධපුර මහමෙව්නා සමාධි බුද්ධ ප්‍රතිමාව, අවුකන පිළිමය සමස්ත ථේරවාදී බෞද්ධ දර්ශනය ම සංකේතවත් කරයි. එකල ජනතාව ඒකරාශී වෙමින් භක්තිමත් ගෞරවයකින් බුදු දහම වැළඳ ගැනීමත් සමඟ නිවන කරා යෑමට ඔවුන්ගේ චින්තනය සකසා ගනී. ඒ උතුම් බුද්ධ මාර්ගය ඔස්සේ තවමත් මානවයන් ගමන් කරයි.
අල්ලාගෙන යන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
හිමියෙක් නැති ගමන් තනි මඟ කිමද නගෝ
අම්බලමේ ඉදලා අපි යමුද නගෝ
මේ ජනකවි දෙස අවධානය යොමු කිරීමේ දී තරුණයෙකු විසින් තනි මඟ යන තරුණිය දුටු පමණින් තම සිත තුළ පහළ වූ හැඟීම් ප්‍රකාශනයක් අන්තර්ගත වෙයි. මෙහිදී තරුණිය ද තරුණයාගේ කවියට පිළිතුරු කවියක් ගයයි. එම කවිය මඟින් සමාජයේ අගය කළ ගුණ ධර්ම පමණක් නොව ස්ථානෝචිත ප්‍රඥාව ඉමතු කරයි. මානවයන් තුළ වූ අතෘප්ත කර ආශාවන්ගේ ස්වභාවයත්, හැඟීම්, සිතුම්, පැතුම් අවස්ථානෝචිත ලෙස ගොඩනගා ගැනීමටත් මේ ජනකවිය වඩාත් යෝග්‍ය වේ. මේ කවි පොදු ජනයා හා වඩාත් සමීප වී තිබෙන්නේ එමඟින් ලබා දෙන චින්තනමය වටිනාකම හේතු කොට ගෙනයි. මෙයට අතීතයේ දී භාවිත කළ " කණ කොකාගේ සුද පෙනෙන්නේ ඉඟිලෙන කොටලු " යන කියමනෙන් අදහස් වන්නේද මිනිසුන්ගේ සැබෑ ස්වරූපය හදුනාගත හැක්කේ ක්‍රියාවෙන්ම බව යි.
මේ අනුව ජනශ්‍රැතිය කිසියම් කණ්ඩායමක සාමූහික චර්යාව මුල් කරගෙන ගොඩනැඟෙන අතර සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙකු යම් චර්යාවක් අනුගමනය කරන්නේ ද එය සමස්ත සමාජයේම පොදු චින්තනයට සැකසීමට හේතු වේ. සාමූහික චින්තනයට ගැළපෙන ආකාරයෙන් කෙනෙක් ඉදිරිපත් කරන යම් දෙයක් සියලු දෙනා විසින් පිළිගනු ලබන අතර එය ඉදිරියට ගලා යාමට ජනශ්‍රැතිය රුකුල් සපයයි.
No comments:
Post a Comment