" ඕ හසාර් බල්තසාර් " සිනමා කලාවේ විශිෂ්ටම නිර්මාණකරුවෙකු වූ රෝබෑර් බ්‍රෙසෝන් අතින් නිමවුණු හෘදය සංවේදී චිත්‍රපටියකි. ඇසට කඳුළක් උණන සිදුවීම් සමුදායක් එකට කැටි කර චිත්‍රපටය නිර්මාණය කරයි. චිත්‍රපටිය පුරාවට බුරුවෙකු වූ බල්තසාර්ගේ ශෝකාලාපය හඳ කම්පා කරවන ලෙස මතු කර දක්වයි. බූරුවා උපතේ සිට මරණය දක්වා ගෙවා දමන දුක්ඛිත ජීවිතයත්, බූරුවාගේ හැඟීම් මනාව කැමරා කාචයෙන් ලබා ගැනීමට බ්‍රෙසෝන් සමත් වී ඇත. චිත්‍රපටයේ දී බල්තසාර්ට අමුතු සානුකම්පිත දෘෂ්ටියක් ලබා දීමට බ්‍රෙසෝන් උත්සහ නොකරයි. ඒ වෙනුවට එය නරඹන ප්‍රේක්ෂක ජනතාවගේ සිත්වල ඇතිවන හැඟීම් මඟින් බල්තසාර්ට සානුකම්පිත දෘෂ්ටියක් ලබා දීමට වෑයම් කරයි.
වෙනත් චිත්‍රපටිවල සත්ත්ව චරිත මිනිසුන් හා සමානවම ඔසවා තැබීමට, වටිනාකමක් ලබා දීමට උත්සහ කරත් මේ චිත්‍රපටියේ දී බල්තසාර් ගෙවා දමන කටුක ජීවිතය හේතු කොට ගෙන ඇති වන පීඩාවන් තාත්ත්වික ලෙස උකහා දක්වයි. බල්තසාර්ගේ හැඟීම් නිරූපනය අතින් විශිෂ්ට වේ. ලොම් සහිත සත්ත්වයෙකු වුවත්, බූරුවා යන නාමයෙන් බල්තසාර් වැනි සතුන් හැඳින්වුවත් මිනිසුන් ළඟ නොමැති මානුෂීයත්වයක් බල්තසාර් ළඟ තිබේ. බල්තසාර්ගේ මුහුණින් ප්‍රකාශ වන හැඟීම්, බලාපොරොත්තු රහිත, අරමුණක් නැති ජීවිතයත්, කියා ගන්න බැරි ඇස්වලින් පිටවන වේදනාවත්, අසරණ බවත් ප්‍රේක්ෂකයාගේ හදවත පසාරු කිරීමට සමත් වේ.
බල්තසාර්ට මිහිරි කටහඬක් නැත. නමුත් ඒ පිළිබඳ බල්තසාර්ගේ කණගාටුවක් නොවේ. උපතින් ලද කටහඬ මඟින් බල්තසාර්ගේ වේදනාව මිනිසුන්ගේ සිත් පත්ලේ තැම්පත් කර විශාල වේදනාවක් මතු පිටට පැමිණවීමට හැකි වී තිබේ. සිත් පිත් නැති මිනිසුන්ගේ අධම ගති නිසාත්, සත්ත්වයෙකු ලෙස ඉපදීමේ පව නිසාත්, බල්තසාර් කඩා වැටේ. චිත්‍රපටය පුරාවටම දොරවල් ඇරෙන හා වැසෙන අයුරු සමීපව කැමරාවට හසු කර ගෙන තිබේ. මනුෂ්‍යාගේ ජීවිතය නොයෙකුත් දිශානතීන් කරා ප්‍රවිෂ්ට වීමේ හැකියාවක් තිබේ. ස්වාධීන වූ මිනිස් ජීවිතයේ දී තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් තමා කරා ළඟා කර ගැනීමට හැකියාව මිනිසාට ලැබෙන්නේ උපතේදීම ය. තමාගේ ජීවිතය කුමන අරමුණක් කරා විවෘත කරගන්නේ ද කුමන පාර්ශවය වසා තබන්නේ දැයි මිනිසාට තීරණය කළ හැකි ය. නමුත් අනුන්ගෙන් යැපෙන බල්තසාර්ට කිසිදා තමාගේ ජීවිතයේ තමාට අවශ්‍ය දේ ළඟා කර ගැනීමට නොහැක. බල්තසාර් වැනි සතුන්ට උරුම වී ඇත්තේ හැමදාමත් මිනිසා යටතේ හිඳිමින් ඔවුන්ගේ බැල මෙහෙවර කොට ජීවත් වීමයි. මෙය ප්‍රේක්ෂකයාට සංකිර්ණව වටහා දීමේ උපක්‍රමයක් ලෙස දොරටු ඇරීම වැසීම සිදු වේ.
මරී බල්තසාර්ගේ කටකලියාවේ මල් ගසා ඒ මඟින් ප්‍රබෝධයට පත් වෙයි. නමුත් මරී බල්තසාර්ට සැබෑ ලෙසම ආලය කරන්නේ දැයි ගැටළු සහගත වේ. එහිදී කිසියම් හිඩැසක් ඉතිරි කරන ආකාරයක් හැඟේ. ගමේ ළමුන් බල්තසාර්ට කරදර අකටයුතුකම් කිරීමේ දී එය වැළැක්වීම සඳහා ඇය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී. මේ මඟින් මිනිස් ජීවිතයේ සැඟවිලා තිබෙන ගුඪ චෛතසිකයන් නිරුපණය වේ. බල්තසාර් ඇවිදින හඬ නිරන්තරයෙන් දෝන්කාර දෙන ලෙස ඇසීමට සැලැස්වීමත්, කස පාරේ ශබ්දයත් මඟින් ප්‍රේක්ෂකයා වේදනාවට පත් කරයි. බූරුවාට තලන එම ශබ්දය බලා සිටින ප්‍රේක්ෂකයාට පහර දෙන්නක් මෙන් දැනෙන්නට සැලැස්වීම බ්‍රේසෝන්ගේ උපක්‍රමය යි.
චිත්‍රපටයේ දෙබස් අඩුවෙන් යොදා ගනී. සජීවී දෙබස් මගින් චරිතවල අභ්‍යන්තරය ප්‍රකාශ කරනවා වෙනුවට මුහුණුවල මතු වන ඉරියව්වලින් භාවාත්මක රූපණය සිදු කරයි. මිනිසුන්ගේ හැසිරීම් රටාවන් මගින් අවස්ථා නිරුපණය කරයි. මිනිස් චරිතවල විවිධත්වය මතු කිරීම සාර්ථක උත්සාහයකි. බේබදු මිනිසා දැක්වීමෙන් සිහියක් නැතිව සිටියත් බල්තසාර්ට ඔහු ආදරය, කරුණාව, දයාව පෙන්වා හැකි පමණින් රැක බලා ගනී. නමුත් ජෙරාර් තරුණ පිරිමි ළමයෙකු වුවත්, ඔහු හැමවිටම නපුරු ගතිවලින් හා නපුරු ක්‍රියාවල යෙදෙන්නට විය. බල්තසාර්ගේ වලිගය කඩදාසි කොළයක් දමා ගිනි තැබීමෙන් ජෙරාර්ගේ උණු නොවන හදවත් වටහා ගැනීමට ඉඩ සලසයි.
චරිත ප්‍රවිෂ්ට වීමට මත්තෙන් එම චරිත රැදෙන දර්ශන තලයට මුලින්ම කැමරා කාචය යොමු කරයි. එම දර්ශනය පෙන්වීමෙන් අනතුරුව චරිතවල ක්‍රියාකාරීත්වය පෙන්වීමට මත්තෙන් ප්‍රේක්ෂකයාට ළගා කරයි. චරිතවල ක්‍රියාකාරීත්වය පෙන්වීමට මත්තෙන් ප්‍රේක්ෂකයාට ඉගි කරන්නේ ඊලඟ මොහොතේ කුමක් සිදුවීමට නියමිතද යන්නයි. නිදසුනක් ලෙස පිදුරු ගැලක් ඇදන් බල්තසාර් ගමන් කිරීමේදී වේගය එන්න එන්න වැඩි වේ. ගැලේ පැද්දෙන ශබ්දය මහත් කොට එම අවස්ථාවේ පෙන්වයි. එවිට අපට වටහා ගැනීමට හැකි වන්නේ ඊලග මොහොතේ ගැළ පෙරලෙන බවයි. මෙහිදී බල්තසාර් මුලින්ම නොපෙන්වන අතර පිදුරු ගැලත්, කරත්ත රෝදයත්, ගල් ගෙඩිවලින් පිරුණු මාර්ගයත් මුලින්ම කැමරා කාචයට හසු කරයි.
බල්තසර්ගේ ජීවිතයේ අවසානයේ වුවත් ඒ තරම්ම සුභදායක නොවේ. මනුෂ්‍යන් බල්තසාර්ගෙන් වැඩ ගෙන ඔවුන්ම බල්තසාර්ගේ මරණය ළගා කරන්නේ වෙඩි තැබීමෙනි. මෙය කොපමණ නින්දිත ක්‍රියාවක්ද සහ ඉපදීම මොනතරම් දුකක්ද යන්න ගැබුරින් භාවාත්මක පාර්ශවයට ඉඩ දී නිරුපණය කරයි. බල්තසාර් උපකාර පතා මරී ලගටවත් අවසාන මොහොතේ නොයන්නේ බල්තසාර්ට මෙලොව උපකාර කළ කිසිවෙකු නොමැති බව අවබෝධ කර ගැනීමෙනි.
අවසානයේ බල්තසාර් මිය යන්නේ බැටළුවෝ රැලක් මාධ්‍යයේ ය. සතුන් අතරම ඉපදී සතුන් අතරම මිය යාම තරම් දෙයක් බල්තසාර්ට තවත් ඉතිරි වී නැත. එම නිසා චිත්‍රපටය පුරාවට තිබූ කළු සුදු වර්ණය බැහැර කර දීප්තිමත් ආලෝකයක් ලබා දෙමින් බල්තසාර්ව මතු කර පෙන්වයි. මේ ආලෝකය මගින් බල්තසාර්ගේ නිදහස ලැබුණේ මරණය හමුවේ පමණක් බව සමස්ත ප්‍රජාවටම අවධාරණය කරයි. මේ අනුව චිත්‍රපටය පුරාවට බල්තසාර් හා මිනිසුන්ගේ ක්‍රියාකලාපය හා හැගීම් ප්‍රකාශ වෙනවා සේම ප්‍රේක්ෂකයාට දැනෙන භාවාත්මක ශෛලියකින් චිත්‍රපටය ගොඩනංවා තිබේ. මෙය ඉතාමත් සාර්ථක නිර්මාණයක් ලෙස හැදින්වීම උචිත ය.
No comments:
Post a Comment