දෙසවන සිසාරා හදවතට ළං වෙන මියුරු සරයයි මේ.....
ප්‍රේමයේ සැබෑම පරිත්‍යාගය නම් අහිමි වූ බව දැනගෙන එය විඳ දරා ගැනීම යි. ඇය යන්න ගියා මැකිලා ගීතය එයට කදිම නිදර්ශන සපයයි. ගී පද රචකයා වන සුනිල් සරත් පෙරේරා මෙම ගීතයට සොබාදහම ආරෝපණය කරයි. වස්ගමුව පරිසරය හා බැඳි චමත්කාරය චිත්‍රණය කරයි. " ඇය " යන්නෙන් පරිසරය සංකේතවත් කරන බව ඔහු පෙන්වා දෙයි. රචකයා තම ගීතයට කුමන අර්ථයන් උකහා ගත්ත ද රස විඳින්නාට ගීතයට හානි නොවන ලෙස රස විඳීමේ නිදහස හිමිව තිබේ. මට මේ ගීතය සවන රැඳුන මොහොතේම කවියක් සිහියට නැගුණි. ඒ සිරි ගුනසිංහයන්ගේ මතක වස්තුවේ මා හැර දා දර දඩු කොට දා මා අත් පා ඇය යන්න ගියා මැකිලා පද පෙළ යි. කවි පෙළේ හා ගීතයේ එකම අර්ථය ලෙස මට හැගී ගියේ මෙහි සිටින කථකයාගේ බිරිඳගේ වියෝව යි.
විප්‍රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිට ම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්‍රකම්පනයට පත් කරන්නා වූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුව ද, විප්‍රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයක දී එය තවත් ප්‍රබල බවට පත් කරයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ම ය. එය සඳහටම වෙන් වීමක් වූ විට ඒ වේදනාව තවත් ප්‍රබල වෙයි. රචකයා මෙහිදී ප්‍රතිනිර්මාණය කරන්නේ එබඳු සදාකාලික වෙන්විමකි. ඒ වියෝව කලාත්මකව ඉදිරිපත් කරනු පිණිස රමණීය පරිසරයක් පිළිබඳ චිත්‍රයක් කවියා විසින් මවනු ලබයි.
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඈ යන්න ගියා මැකිලා
පිණි කදුළක් මල් පෙති අඟ තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
ප්‍රේමයේ ශෘංගාරය අත්විදිද්දී ඔවුන් ගත කළ සුන්දර නිමේෂයන් දෘශ්‍යගෝචර අයුරින් චිත්‍රණය කර මෙහිදී ඉදිරිපත් කරයි. මේ මැකී යාම ඇය මෙලොවින් සමු ගැනීමක් බව රචකයා සංකේතවත් කරයි. කථකයාගේ දෑස් අඟින් වැටෙන කදුළු මල් වඩමේ මල් පෙති අතර පිණි බිංදු මෙන් රැඳී තිබෙයි. සුදු රෙදි කඩකින් ඇගේ මුහුණ වසා දැමීම රචකයා දකින්නේ මිහිඳුම් සළුවකින් මුහුණ වැසී යාමක් ලෙස යි. " වන සිරස, තුරු සෙවණැලි, පිණි කඳුල, මල් පෙති " ආදී යෙදුම් ප්‍රේමයේ සෞන්දර්යය චිත්‍රණය කිරීම සඳහා රචකයා ඉවහල් කර ගනී.
නිල්ල නිලන නිල් කඳු වැටී අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හඳකින්
යන්න ගියා මැකිලා
ජීවිතයේ අනිත්‍ය බව නොරහසකි. නමුත් ප්‍රේමයේ සදාතනික බව සංසාරගත චාරිකාවකි. ප්‍රේමය හිමි වී අහිමි වීම තවත් දුක්මුසු කතාන්දරයකි. එම කතාන්දරය තුළ තෙරපෙන කථකයාගේ සංවේදනාවන් සියුම් ලෙස මතු පිටට ගෙන එයි.
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අඳහා ගන්නට නොහැකිය කිසිවිට
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
කවියෙකු තුළ තිබෙන තෙවැනි ඇස පරිකල්පනීයව යොදා ගනී. මඳ පවන විත් කථකයාගේ හිස අත ගා සනසන බව පසක් කරයි. මියුරු පඳ වැල් අතරින් ගලන ශෝකීරාව කථකයාගේ හදවත කම්පනයට පත් කරයි. විරහව බුක්ති විඳින්නා තුළ පවතින ආත්මීය වේදනාව ඉදිරිපිට ධර්මතාවය පවා නිහඬ යි. කථකයා තමාගේ බිරිඳ මිය ගියා යැයි පිළිගැනීමට අකමැතියි. මන්දයත්, එය කථකයාට අමතක නොවන සිහිනයකි. යළි කවදා හෝ නැවත ඇය පැමිණෙතැයි බලාපොරොත්තු සහගතව බලා හිඳී.
හඳ එළියෙන් නැහැවුණු කඳු වැටිවල දෝංකාරය දෙමින්, පිණි කදුළු සිප ගත් මඳ සුළගේ දැවටී එන ඒ විරහ වේදනාව, වන සිරසක තුරු සෙවණැලි අතරින් ගලා ගෙන විත් හදවතේ ගඹුරුම තැන ලැඟුම් ගනියි.
No comments:
Post a Comment