Monday, July 26, 2021

ඕ හසා (ර්) බල්තසාර්

 


" ඕ හසාර් බල්තසාර් " සිනමා කලාවේ විශිෂ්ටම නිර්මාණකරුවෙකු වූ රෝබෑර් බ්‍රෙසෝන් අතින් නිමවුණු හෘදය සංවේදී චිත්‍රපටියකි. ඇසට කඳුළක් උණන සිදුවීම් සමුදායක් එකට කැටි කර චිත්‍රපටය නිර්මාණය කරයි. චිත්‍රපටිය පුරාවට බුරුවෙකු වූ බල්තසාර්ගේ ශෝකාලාපය හඳ කම්පා කරවන ලෙස මතු කර දක්වයි. බූරුවා උපතේ සිට මරණය දක්වා ගෙවා දමන දුක්ඛිත ජීවිතයත්, බූරුවාගේ හැඟීම් මනාව කැමරා කාචයෙන් ලබා ගැනීමට බ්‍රෙසෝන් සමත් වී ඇත. චිත්‍රපටයේ දී බල්තසාර්ට අමුතු සානුකම්පිත දෘෂ්ටියක් ලබා දීමට බ්‍රෙසෝන් උත්සහ නොකරයි. ඒ වෙනුවට එය නරඹන ප්‍රේක්ෂක ජනතාවගේ සිත්වල ඇතිවන හැඟීම් මඟින් බල්තසාර්ට සානුකම්පිත දෘෂ්ටියක් ලබා දීමට වෑයම් කරයි. 

වෙනත් චිත්‍රපටිවල සත්ත්ව චරිත මිනිසුන් හා සමානවම ඔසවා තැබීමට, වටිනාකමක් ලබා දීමට උත්සහ කරත් මේ චිත්‍රපටියේ දී බල්තසාර් ගෙවා දමන කටුක ජීවිතය හේතු කොට ගෙන  ඇති වන පීඩාවන් තාත්ත්වික ලෙස උකහා දක්වයි. බල්තසාර්ගේ හැඟීම් නිරූපනය අතින් විශිෂ්ට වේ. ලොම් සහිත සත්ත්වයෙකු වුවත්, බූරුවා යන නාමයෙන් බල්තසාර් වැනි සතුන් හැඳින්වුවත් මිනිසුන් ළඟ නොමැති මානුෂීයත්වයක් බල්තසාර් ළඟ තිබේ. බල්තසාර්ගේ මුහුණින් ප්‍රකාශ වන හැඟීම්, බලාපොරොත්තු රහිත, අරමුණක් නැති ජීවිතයත්, කියා ගන්න බැරි ඇස්වලින් පිටවන වේදනාවත්, අසරණ බවත් ප්‍රේක්ෂකයාගේ හදවත පසාරු කිරීමට සමත් වේ.

බල්තසාර්ට මිහිරි කටහඬක් නැත. නමුත් ඒ පිළිබඳ බල්තසාර්ගේ කණගාටුවක් නොවේ. උපතින් ලද කටහඬ මඟින් බල්තසාර්ගේ වේදනාව මිනිසුන්ගේ සිත් පත්ලේ තැම්පත් කර විශාල වේදනාවක් මතු පිටට පැමිණවීමට හැකි වී තිබේ. සිත් පිත් නැති මිනිසුන්ගේ අධම ගති නිසාත්, සත්ත්වයෙකු ලෙස ඉපදීමේ පව නිසාත්, බල්තසාර් කඩා වැටේ. චිත්‍රපටය පුරාවටම දොරවල් ඇරෙන හා වැසෙන අයුරු සමීපව කැමරාවට හසු කර ගෙන තිබේ. මනුෂ්‍යාගේ ජීවිතය නොයෙකුත් දිශානතීන් කරා ප්‍රවිෂ්ට වීමේ හැකියාවක් තිබේ. ස්වාධීන වූ මිනිස් ජීවිතයේ දී තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් තමා කරා ළඟා කර ගැනීමට හැකියාව මිනිසාට ලැබෙන්නේ උපතේදීම ය. තමාගේ ජීවිතය කුමන අරමුණක් කරා විවෘත කරගන්නේ ද කුමන පාර්ශවය වසා තබන්නේ දැයි මිනිසාට තීරණය කළ හැකි ය. නමුත් අනුන්ගෙන් යැපෙන බල්තසාර්ට කිසිදා තමාගේ ජීවිතයේ තමාට අවශ්‍ය දේ ළඟා කර ගැනීමට නොහැක. බල්තසාර් වැනි සතුන්ට උරුම වී ඇත්තේ හැමදාමත් මිනිසා යටතේ හිඳිමින් ඔවුන්ගේ බැල මෙහෙවර කොට ජීවත් වීමයි. මෙය ප්‍රේක්ෂකයාට සංකිර්ණව වටහා දීමේ උපක්‍රමයක් ලෙස දොරටු ඇරීම වැසීම සිදු වේ.

මරී බල්තසාර්ගේ කටකලියාවේ මල් ගසා ඒ මඟින් ප්‍රබෝධයට පත් වෙයි. නමුත් මරී බල්තසාර්ට සැබෑ ලෙසම ආලය කරන්නේ දැයි ගැටළු සහගත වේ. එහිදී කිසියම් හිඩැසක් ඉතිරි කරන ආකාරයක් හැඟේ. ගමේ ළමුන් බල්තසාර්ට කරදර අකටයුතුකම් කිරීමේ දී එය වැළැක්වීම සඳහා ඇය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී. මේ මඟින් මිනිස් ජීවිතයේ සැඟවිලා තිබෙන ගුඪ චෛතසිකයන් නිරුපණය වේ. බල්තසාර් ඇවිදින හඬ නිරන්තරයෙන් දෝන්කාර දෙන ලෙස ඇසීමට සැලැස්වීමත්, කස පාරේ ශබ්දයත් මඟින් ප්‍රේක්ෂකයා වේදනාවට පත් කරයි. බූරුවාට  තලන එම ශබ්දය බලා සිටින ප්‍රේක්ෂකයාට පහර දෙන්නක් මෙන් දැනෙන්නට සැලැස්වීම බ්‍රේසෝන්ගේ උපක්‍රමය යි. 



චිත්‍රපටයේ දෙබස් අඩුවෙන් යොදා ගනී. සජීවී දෙබස් මගින් චරිතවල අභ්‍යන්තරය ප්‍රකාශ කරනවා වෙනුවට මුහුණුවල මතු වන ඉරියව්වලින් භාවාත්මක රූපණය සිදු කරයි. මිනිසුන්ගේ හැසිරීම් රටාවන් මගින් අවස්ථා නිරුපණය කරයි. මිනිස් චරිතවල විවිධත්වය මතු කිරීම සාර්ථක උත්සාහයකි. බේබදු මිනිසා දැක්වීමෙන් සිහියක් නැතිව සිටියත් බල්තසාර්ට ඔහු ආදරය, කරුණාව, දයාව පෙන්වා හැකි පමණින් රැක බලා ගනී. නමුත් ජෙරාර් තරුණ පිරිමි ළමයෙකු වුවත්, ඔහු හැමවිටම නපුරු ගතිවලින් හා නපුරු ක්‍රියාවල යෙදෙන්නට විය. බල්තසාර්ගේ වලිගය කඩදාසි කොළයක් දමා ගිනි තැබීමෙන් ජෙරාර්ගේ උණු නොවන හදවත් වටහා ගැනීමට ඉඩ සලසයි.

චරිත ප්‍රවිෂ්ට වීමට මත්තෙන් එම චරිත රැදෙන දර්ශන තලයට මුලින්ම කැමරා කාචය යොමු කරයි. එම දර්ශනය පෙන්වීමෙන් අනතුරුව චරිතවල ක්‍රියාකාරීත්වය පෙන්වීමට මත්තෙන් ප්‍රේක්ෂකයාට ළගා කරයි. චරිතවල ක්‍රියාකාරීත්වය පෙන්වීමට මත්තෙන් ප්‍රේක්ෂකයාට ඉගි කරන්නේ ඊලඟ මොහොතේ කුමක් සිදුවීමට නියමිතද යන්නයි. නිදසුනක් ලෙස පිදුරු ගැලක් ඇදන් බල්තසාර් ගමන් කිරීමේදී වේගය එන්න එන්න වැඩි වේ. ගැලේ පැද්දෙන ශබ්දය මහත් කොට එම අවස්ථාවේ පෙන්වයි. එවිට අපට වටහා ගැනීමට හැකි වන්නේ ඊලග මොහොතේ ගැළ පෙරලෙන බවයි. මෙහිදී බල්තසාර් මුලින්ම නොපෙන්වන අතර පිදුරු ගැලත්, කරත්ත රෝදයත්, ගල් ගෙඩිවලින් පිරුණු මාර්ගයත් මුලින්ම කැමරා කාචයට හසු කරයි. 

බල්තසර්ගේ ජීවිතයේ අවසානයේ වුවත් ඒ තරම්ම සුභදායක නොවේ. මනුෂ්‍යන් බල්තසාර්ගෙන් වැඩ ගෙන ඔවුන්ම බල්තසාර්ගේ මරණය ළගා කරන්නේ වෙඩි තැබීමෙනි. මෙය කොපමණ නින්දිත ක්‍රියාවක්ද සහ ඉපදීම මොනතරම් දුකක්ද යන්න ගැබුරින් භාවාත්මක පාර්ශවයට ඉඩ දී නිරුපණය කරයි. බල්තසාර් උපකාර පතා මරී ලගටවත් අවසාන මොහොතේ නොයන්නේ බල්තසාර්ට මෙලොව උපකාර කළ කිසිවෙකු නොමැති බව අවබෝධ කර ගැනීමෙනි.

අවසානයේ බල්තසාර් මිය යන්නේ බැටළුවෝ රැලක් මාධ්‍යයේ ය. සතුන් අතරම ඉපදී සතුන් අතරම මිය යාම තරම් දෙයක් බල්තසාර්ට තවත් ඉතිරි වී නැත. එම නිසා චිත්‍රපටය පුරාවට තිබූ කළු සුදු වර්ණය බැහැර කර දීප්තිමත් ආලෝකයක් ලබා දෙමින් බල්තසාර්ව මතු කර පෙන්වයි. මේ ආලෝකය මගින් බල්තසාර්ගේ නිදහස ලැබුණේ මරණය හමුවේ පමණක් බව සමස්ත ප්‍රජාවටම අවධාරණය කරයි. මේ අනුව චිත්‍රපටය පුරාවට බල්තසාර් හා මිනිසුන්ගේ ක්‍රියාකලාපය හා හැගීම් ප්‍රකාශ වෙනවා සේම ප්‍රේක්ෂකයාට දැනෙන භාවාත්මක ශෛලියකින් චිත්‍රපටය ගොඩනංවා තිබේ. මෙය ඉතාමත් සාර්ථක නිර්මාණයක් ලෙස හැදින්වීම උචිත ය.



බලා වැළපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ ගීත විචාරය



මම රසවින්දනය සඳහා තෝරා ගනු ලැබූ මෙම ගීතය මෑත කාලයේ දී අසන්නට ලැබුණු සොඳුරු ගීතයකි. මේ ගීතය හා බැඳුණු සුවිශේෂ බවක් ඇත. ඒ මෙම ගීතය ගයනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සිංහවංශ සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි. ගීතය රචනා කරන ලද්දේ ජානක සිරිවර්ධනයන් වන අතර සංගීතවත් කරන ලද්දේ අරුණ ගුණවර්ධනයි. 

සරසවිය බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මඟ වෙනස් කරන ක්ෂේම භූමියක්. ඇතැමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරණක් මිහි මත තවත් නොවිය හැකි ය. එසේම, විරහවට ද එය උරුමකම් කියනු නොඅනුමානයි. හන්තානය යනු ප්‍රේමය පාරාදීසයක් බඳු පෙදෙසකි. එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි. සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි.

බලා වැළපෙමි 

නෙලාගනු බැරි 

හන්තාන සිහිනේ 

දරා නෙත් අඟ 

දොවා සිත් මල

ගොතනු මැන ළඳුනේ

සංසාර සිහිනේ 

ඇය සොඳුරු රූමත් යෞවනියකි. තම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මනවයකයන් සරන මේ සරසවි බිම ඇගේ වීරයා වන්නේ ඇයට ශිල්ප ලබා දෙන ඇඳුරිදු යි. ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හඳ කොනක මෝරා වැඩෙන්නට වෙයි. මෙය එක්තරා අසම්මත පෙමක කතාන්දරයකි. ප්‍රේමය අසම්මත විය නොහැකිය. නමුත් ප්‍රේමය සම්මත හෝ අසම්මත යැයි හංවඩු ගසන්නේ සදාචාරය නමැති පිරුවට මඟින් නිරුවත වසාගත් සමාජය යි. නෙළා ගනු නොහෙන පෙමක් හෙයින් ඇය රහසේම වළපෙනුයේ එබැවිනි. සංසාරය නම් දීර්ඝ වූ ගමනේ කවදා හෝ හමුවන තෙක් ඉවසා දරා සිටින ලෙස ඇයට ඔහු ආරාධනා කරයි.

වැහි පබළු යට 

රඟ මඬල මැද 

ඔබේ දෑතේ තුරුළු වෙන්නට 

බිසෝ හැර ගිය 

ළසෝ රඟ හළ

අමාවක අඳුරේ 

නොඑනු මැන ළඳුනේ

ඔහුගේ බිරිඳ ඔහු හැරගොස් ය. එබැවින් ඔහුගේ හදවත නම් රඟහල දැන් ඇත්තේ අඳුරේ ය. එය හුදු අන්ධකාරයක් පමණක් නොව අමාවක අඳුරකි. මේ රූපකයෙන් පුරුෂයා වෙළාගෙන පවතින භාවාත්මක හුදකලාව විග්‍රහ කිරීමට සියුම් උත්සාහයක නිරත වෙයි. ඒ හුදකලාව මැකීමට පැමිණි අනාරාධිත අමුත්තිය වෙත ඔහු දැන් බැඳී ඇත. ඔහු ඇයට නොඑන ලෙස ආයාචනය කරයි.

වඩින තුරු සඳ දුරින් ඉන්නම් 

තරු ඇඳුරු පෙම් ගී අහන්නම් 

සොඳුරු ඒ සඳ දියේ එන්නම් 

හිඳිනු මැන සොඳුරේ 

හන්තාන අරණේ 

උගත්කමින් ශික්ෂාවක් ලැබූ ඇය තමාගේ ප්‍රේම ආරාධනාව පිළිගෙන ඔහු එනතුරු දුරින් සිටින බව පවසයි. ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හඳ මඬලට සඳ එළිය ලැබෙන දිනක මම නුබ ළඟට එන්නෙමි. එතෙක් නුබ සාර්ථකව අධ්‍යාපනය නිමා කර ගෙන හන්තාන අරණේ හිඳිනු මැනවි. හන්තානය ඔවුන්ගේ ලියලා වැඩෙන ප්‍රේමය සංකේතවත් නොකරන්නේ ද? කෙසේ නමුත් ඇගේ හන්තාන සිහිනය නෙළා ගන්නට සමත් වූ බව ගීතය කෙරෙන් ප්‍රකාශ වෙයි.



ඇය යන්න ගියා මැකිලා ගීත විචාරය


දෙසවන සිසාරා හදවතට ළං වෙන මියුරු සරයයි මේ.....

ප්‍රේමයේ සැබෑම පරිත්‍යාගය නම් අහිමි වූ බව දැනගෙන එය විඳ දරා ගැනීම යි. ඇය යන්න ගියා මැකිලා ගීතය එයට කදිම නිදර්ශන සපයයි. ගී පද රචකයා වන සුනිල් සරත් පෙරේරා මෙම ගීතයට සොබාදහම ආරෝපණය කරයි. වස්ගමුව පරිසරය හා බැඳි චමත්කාරය චිත්‍රණය කරයි. " ඇය " යන්නෙන් පරිසරය සංකේතවත් කරන බව ඔහු පෙන්වා දෙයි. රචකයා තම ගීතයට කුමන අර්ථයන් උකහා ගත්ත ද රස විඳින්නාට ගීතයට හානි නොවන ලෙස රස විඳීමේ නිදහස හිමිව තිබේ. මට මේ ගීතය සවන රැඳුන මොහොතේම කවියක් සිහියට නැගුණි. ඒ සිරි ගුනසිංහයන්ගේ මතක වස්තුවේ මා හැර දා දර දඩු කොට දා මා අත් පා ඇය යන්න ගියා මැකිලා පද පෙළ යි. කවි පෙළේ හා ගීතයේ එකම අර්ථය ලෙස මට හැගී ගියේ මෙහි සිටින කථකයාගේ බිරිඳගේ වියෝව යි. 

විප්‍රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිට ම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්‍රකම්පනයට පත් කරන්නා වූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුව ද, විප්‍රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයක දී එය තවත් ප්‍රබල බවට පත් කරයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ම ය. එය සඳහටම වෙන් වීමක් වූ විට ඒ වේදනාව තවත් ප්‍රබල වෙයි. රචකයා මෙහිදී ප්‍රතිනිර්මාණය කරන්නේ එබඳු සදාකාලික වෙන්විමකි. ඒ වියෝව කලාත්මකව ඉදිරිපත් කරනු පිණිස රමණීය පරිසරයක් පිළිබඳ චිත්‍රයක් කවියා විසින් මවනු ලබයි.

ඇය යන්න ගියා මැකිලා 

වන සිරසක තුරු සෙවණැලි අතරේ 

ගී ගයමින් හිඳ මා තුරුලේ 

ඈ යන්න ගියා මැකිලා 

පිණි කදුළක් මල් පෙති අඟ තවරා 

මීදුම් සළුවෙන් මුහුණ වසා 

ප්‍රේමයේ ශෘංගාරය අත්විදිද්දී ඔවුන් ගත කළ සුන්දර නිමේෂයන් දෘශ්‍යගෝචර අයුරින් චිත්‍රණය කර මෙහිදී ඉදිරිපත් කරයි. මේ මැකී යාම ඇය මෙලොවින් සමු ගැනීමක් බව රචකයා සංකේතවත් කරයි. කථකයාගේ දෑස් අඟින් වැටෙන කදුළු මල් වඩමේ මල් පෙති අතර පිණි බිංදු මෙන් රැඳී තිබෙයි. සුදු රෙදි කඩකින් ඇගේ මුහුණ වසා දැමීම රචකයා දකින්නේ මිහිඳුම් සළුවකින් මුහුණ වැසී යාමක් ලෙස යි. " වන සිරස, තුරු සෙවණැලි, පිණි කඳුල, මල් පෙති " ආදී යෙදුම් ප්‍රේමයේ සෞන්දර්යය චිත්‍රණය කිරීම සඳහා රචකයා ඉවහල් කර ගනී.

නිල්ල නිලන නිල් කඳු වැටී අතරේ 

සඳ එළියේ මං පෙත පාදා 

රහසක් සඟවා ගොළු වූ හඳකින් 

යන්න ගියා මැකිලා 

ජීවිතයේ අනිත්‍ය බව නොරහසකි. නමුත් ප්‍රේමයේ සදාතනික බව සංසාරගත චාරිකාවකි. ප්‍රේමය හිමි වී අහිමි වීම තවත් දුක්මුසු කතාන්දරයකි. එම කතාන්දරය තුළ තෙරපෙන කථකයාගේ සංවේදනාවන් සියුම් ලෙස මතු පිටට ගෙන එයි. 

යළි කවදාවත් හමු නොවනා බව 

මඳ පවනක් හිස අතගා කීවද 

අඳහා ගන්නට නොහැකිය කිසිවිට 

ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර 

කවියෙකු තුළ තිබෙන තෙවැනි ඇස පරිකල්පනීයව යොදා ගනී. මඳ පවන විත් කථකයාගේ හිස අත ගා සනසන බව පසක් කරයි. මියුරු පඳ වැල් අතරින් ගලන ශෝකීරාව කථකයාගේ හදවත කම්පනයට පත් කරයි. විරහව බුක්ති විඳින්නා තුළ පවතින ආත්මීය වේදනාව ඉදිරිපිට ධර්මතාවය පවා නිහඬ යි. කථකයා තමාගේ බිරිඳ මිය ගියා යැයි පිළිගැනීමට අකමැතියි. මන්දයත්, එය කථකයාට අමතක නොවන සිහිනයකි. යළි කවදා හෝ නැවත ඇය පැමිණෙතැයි බලාපොරොත්තු සහගතව බලා හිඳී.

හඳ එළියෙන් නැහැවුණු කඳු වැටිවල දෝංකාරය දෙමින්, පිණි කදුළු සිප ගත් මඳ සුළගේ දැවටී එන ඒ විරහ වේදනාව, වන සිරසක තුරු සෙවණැලි අතරින් ගලා ගෙන විත් හදවතේ ගඹුරුම තැන ලැඟුම් ගනියි.



Monday, July 12, 2021

කිරිඳි ඇල්ල




   
වනපෙත මැද නිසලව ඇඳ හැලෙන දර්ශනීය කොමළිය ඇය නමින් කිරිඳි ඇල්ල යි. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය කොට්ඨාසයේ කුට්ටපිටිය ග්‍රාමයේ කිරිඳි ඇල්ල පිහිටා තිබේ. පැල්මඩුල්ල නගරයට පිවිස කුට්ටපිටිය ග්‍රාමයට කිලෝමීටර් 6ක් ගිය තැන මේ සුන්දර ඇල්ල දර්ශනය වේ. වාහනයක ගමන් කරන්නේ නම් දිය ඇල්ලට ප්‍රවේශ වෙන ස්ථානයටම මාර්ග පහසුකම් සලසා තිබේ. නමුත් ස්වාභාවදහමේ අසිරිය කොතෙක්ද කියනවා නම් ඇල්ලේ සැබෑ සුන්දරත්වය විඳින්නට නම් පැය භාගයක් විනාඩි 45ක් වැනි වෙහෙසකර ගමනක යෙදිය යුතු ය. අපගේ ස්වභාවදහම් මාතාවට උරුම මේ ලස්සන ඇල්ල සුරක්ෂිත කළ යුත්තේ මවක් දියණියක් සුරකිනවා හා සමානව යි.

  කිරිඳි ඇල්ල සංරක්ෂණය කිරීම හා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ඇල්ලට පිවිසෙන මාර්ගය සිමෙන්ති පඩියෙන් බැඳ තිබුණ ද සීග්‍රබෑවුම නිසා පඩි බැසීම නැඟීම මඳක් දුෂ්කර වේ. නමුත් ඒ දුෂ්කර බව පහව යන්නේ කිරිඳි ඇල්ලේ සුවදායක බවත් සමඟ ය. කිරිඳි ඇල්ල නරඹන්නන්ගේ ගත සිත කුල්මත් කරමින් ගමනාන්තයට පිවිසීමේ කුතුහලය වර්ධනය කරන්නේ වන ලැහැබේ නැවුම් බවත්, පළා වර්ණයෙන් දිලිසෙන රුක් ගොමුවත්, කුරුල්ලන්ගේ මිහිරි ගායනයත් ය. ඇල්ලට පිවිසෙන මාර්ගය අතරමැද නැරඹුම් පීඨිකාවක්ද ඉදි කර තිබේ. එම පීඨිකාවට කිරිඳි ඇල්ල ඉතාමත් රමණිය ලෙස දර්ශනය වන අතර සුන්දර ඇසක් හිමි කලාකාමීයෙකුට එය අපූරු කලාගාරයකි.

                                                                                 
                                                                                           නැරඹුම් පීඨිකාවට දර්ශනය වන කිරිඳි ඇල්ල 
                                                                        
                                                                                                            සුදු සේල දවටා 
                                                                                                            වැතිරුණු ළඳුනා
                                                                                                            ගල මත ලිස්සා 
                                                                                                            යන මේ ගමනා 
                                                                                                            නෙත සිත බඳනා 
                                                                                                            ඇය දුටු විගසා 
                                                                                                            කෙසේ හිඳින්නද 
                                                                                                            තුරුළු නොවීලා 

   කිරිඳි ඇල්ලට පිවිසෙන මාර්ගය නිසි ආකාරයෙන් නඩත්තු නොවීම නිසා ක්‍රමයෙන් අභාවයට යමින් තිබේ. මේ වන විට ඉදි කිරීම් කොතෙක් දුරට විනාශ වී තිබේද යත් පළමු නැරඹුම් කුටියේ සිට පහළට බැසීමට තිබෙන පඩි පෙළවත් සොයා ගත නොහැකි තරමට වල් බිහි වී ඇත. ඇල්ල පාමුලදී ගල් තලාවෙන් ඇඳගෙන වැටෙන කිරි සුදු සිහින් දිය දහරාව නරඹන්නන්ගේ හැඟීම් මුසපත් කරන්නේ සොබාදම් මෑණියගේ පිවිතුරු බවත් ස්මරණයට නංවමිනි.

  කිරිඳි ඇල්ලට මේ 'කිරිඳි' යන නාමය ලැබී තිබෙන්නේ කිරිඳි වැල් බහුලව මේ ප්‍රදේශයේ තිබූ නිසා බව සැලකේ. ඇල්ල පහළ තිබෙන දියගත් වළ අධික නියන් සමයේ හිස් කිරීමෙන් වැස්ස ලැබෙන බවත්, කෙම්මුර දවස්වල රාත්‍රී කාලයේ ඇල්ල දෙසින් මිනිස් කට හඬක් රැව් පිළිරැව් දෙන බවත්, ගන අඳුරේ ගිනි බෝල වැනි අග්නි ජාලාවක් මතු වී ඇල්ලට ඉහළින් විසිරී යන බවත් ගැමියන් අතර විශ්වාසයක් පවතී.

මීටර් 940ක් උස කුට්ටපිටිය කන්දෙන් ආරම්භ වන කිරිඳි ඇලි කොමළිය බබරබොටුව මහා වන මැදින් දෙවනක ගග දිගේ කළු ගගට ගලා බසී. කිරිඳි ඇල්ලේ උස මීටර් 116ක් වන අතර ලංකාවේ උසින් හත්වැනි ස්ථානය හිමි කර ගන්නේ කිරිඳි ඇල්ල යි. රත්නපුර දිස්ත්‍රික්කයේ උසින් දෙවැනි තැන හිමි කර ගන්නේ මේ රමණිය දිය ඇල්ල යි. 

   වර්ෂාව අධික කාලයක ඇල්ල නැරඹීමෙන් ඇල්ලේ සැබෑ සුන්දරත්වය ආශ්වාදනය කිරීමටත්, පරිසරයේ නැවුම් බවත් අත්විඳිය හැකි ය. දිය ඇල්ල පාමුල දිය නාන්න සුදුසු පරිසරයක් නොමැති නමුත් හාත්පස ගල් ගොඩවලින් වට වී තිබීම හේතුවෙන් අනෙකුත් දිය ඇලිවලට වඩා වෙනස්ම මනස්කාන්ත දර්ශනයක් බිහිව තිබේ. දිය ඇල්ල මුදුනේ ස්වභාවිකව නිර්මාණය වී තිබෙන ලස්සන දිය තටාක දැකිය හැකි ය. එම ස්ථානයට ප්‍රවිෂ්ට වීමෙන් පසු සුරගනා ලොවකට ගියා වැනි අමුතුම හැඟීමකින් ජනයා ප්‍රබෝධයට පත් කරයි. දිය ඇල්ල මුදුනට යෑම සඳහා පඩිපෙළ ඉහළට නැඟ කුට්ටපිටිය තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති පොඩි අඩි පාරෙන් යා යුතු ය.

  ස්වභාවදහම විඳින්නෙකුට නම් කිරිඳි ඇල්ල කදිම නවාතැනකි. ඉතාමත් සුන්දර මෙන්ම සන්සුන් ලීලාවෙන්  ගල්තලාව දිගේ සළු විහිදාන පහළට ගලා යන කිරිඳි ඇලි කොමළිය දුටු විට දැහැනකට සම වැදුනාක් මෙන් දැනේ. ගල් තලාව මතින් නොයෙකුත් රටා මවමින් පහළට වැටෙන දිය දහරාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය හැකි ය. එමගින් නැඟෙන ශබ්දය කනට මිහිරි ය. ඔබ බලංගොඩ නගරය දෙසට පැමිණෙන්නේ නම් පැල්මඩුල්ල නගරය පසු වී මඳක් ඉදිරියට විත් වම් අත පැත්තේ කුඹුරු යායත් සමඟ ඈත වන ලැහැබ දෙස බලන්න. එවිට නිසලව ඇඳ වැටෙන කිරිඳි ඇලි කොමළියගේ මනස්කාන්ත දර්ශනය පෙනෙනු ඇත. ලක් මෑණියගේ ස්වභාවදහම් මාතාවගේ මෙවැනි චමත්කාර නිමැවුම් මතු පරම්පරාවටත් උරුම කර දීම අප සතු වගකීමකි.

අපි පා සටහන් තබා මතක සටහන් පමණක් රැගෙන එමු...


                                                                                                          -සෙව්වන්දි ප්‍රසාදිකා-



හීනය

  හීන දුරුත්තේ  හිරිපොද වැස්සේ  පාලු සැන්දෑවක  අඳුර මැදින්  නුඹේ සිනා මුව  හීන ගේනවා  ඈත දුරක මිය ඇදුන පෙමින්