Sunday, August 1, 2021

බාලොලියේ ගීතය

 


මම රසවින්දනය සඳහා තෝරාගත්ත ගීතය තමයි බාලොලියේ ගීතය. ලංකාවේ කිතුනු ගීත සාහිත්‍යයට තියෙන්නේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක්. ලංකාවේ කලාත්මක සාහිත්‍යාංගයක් ලෙස කිතුනු ගීත ජනප්‍රිය කිරීමේ ගෞරවය හිමි වන්නේ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන්ට. කැරොල් ගීත හෙවත් නත්තල් ගී සතුට විනෝදය දනවන ගීතිකා විශේෂයක්. බාලොලියේ කිතුනු ගීතය සුනිල් සරත් පෙරේරා මහතා පද රචනය කරලා තියෙන්නේ. තනු නිර්මාණය කරලා තියෙන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්න. ගීතය ගායනා කරන්නේ ලතා වල්පොල මහත්මිය. 

ගීතයේ තේමාව වෙන්නේ සාමයේ කුමරාණෝ ලෙස ගෞරවණීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන්ගේ අසිරිමත් උපත පිළිබඳ නවමු අත්දැකීමක් ගෙන ඒම. ගොඩක් කිතුනු ගීත ස්වභාව දහමත් සමඟ මුසු වෙද්දි මේ ගීතය ස්වභාදමත් සමඟ මුසු කරල නත්තලේ සැබෑම අර්ථය උකහා ගනිමින් ඉදිරිපත් කරනවා.

 "බාලොලි බාලොලියේ බාලොලි බාලොලියේ" 

ගීතය ආරම්භයේදී ම අපගේ මනසට නැඟෙනුයේ කුඩා බිලිඳකු නලවන්නා වූ නැලවිලි  ස්රූපයක්. ගීත ඛණ්ඩයක් අපගේ දෙසවන් තුළ නැඟෙත්ම ඉතා නැවුම් ප්‍රාණවත් බවක් සිතටත් කයටත් දැනෙනුයේ නිරායාසයෙන්. ලතා වල්පොල මහත්මියගේ මියුරු කටහඬින් ගැයෙන්නා වූ නිසාම එම ප්‍රාණවත් ගතිය තව තවත් ඔප් නැංවීමට හේතුවක් වෙලා තියෙනවා කියලා මට දැනෙනවා. දිළිඳු ගවලෙනක සීතල උඳුවප් මහේ ස්වභාදහම ආශ්වාදනය කර උපත ලද ජේසුස් ක්‍රිස්තුස් සමිදාණෝ අවිඳු අඳුර නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලයම කැප කරලා තියෙනවා. ඒ නිසාම ගීතවත්ව,

මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ 

මරිය මවුන් නැළවිල්ලට මුසුවන 

යනුවෙන්  ගායනා කරනවා. මෙකී මධුර බව කෙරෙහි ගී තනු සහ සංගීතය ප්‍රබල දායකත්වයක් සපයනවා. සංගීත භාණ්ඩවලින් නැඟෙන මියුරු හඬ නිසාම ජේසු බිළිඳා කෙරෙහි රසික මනසෙහි භක්ත්‍යාදරයක් හටගන්නවා සේම සීතල නත්තලෙ මිහිරියාව හදවත ස්පර්ශ කරමින් ගලා යනවා. නත්තලදා උපන් සාම කුමරුවාගේ දිවියේ සාමය, සංහිඳියාව, සාධාරණත්වය හා මානව හිත හිතසුව  පිණිසම  කැප කරමින් වංචාව, දූෂණය සහ බලකාමයට එරෙහිව අභීතව නැගී සිට කුරුසෙහි මරණයට පත්ව මානව වර්ගයා වෙත විමුක්තිය සලසා දීලා තියෙනවා. නත්තලේ සැබෑම අර්ථය මේ ගීත කණ්ඩයෙන් පේනවා 

දැක දෙපස දැඩි යදම් බඳින ලද 

දුක් බර වූ ජනතාව අවදි කොට 

දේව දයා සම කරුණා උල්පත 

බාලොලියේ ගීතයේ පදමාලාව කෙරෙහි රසික ජනයා ආකර්ෂණය වනුයේ එහි වූ සරල වින්දනාත්මක බව හේතු කොටගෙන ගෙන ය.  එනමුත්, සරල පද මාලාවක් වුවත් ඉන් ඔබ්බට සිත යොමු කිරීමේ දී සංකීර්ණ බවක් ගීතය තුළින් විද්‍යාමාන වෙනවා. ජේසුතුමන් සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම තම ජීවිතයේ කළ අපරිමිත කැපකිරීම්වල බිහිසුණු බව පදවැල් අතර සැඟවිලා තියෙනවා. 

පාප අඳුර සන්තාප ඉවතලන 

නව චින්තනයට මාවත හෙළි කළ 

සාමය වල් වැඳී ගිය අසාධාරණය, දූෂණය රජවී නැති බැරි දුප්පත් ජනතාව පාගා දමන පාලකයින් හා ආගමික නායකයින් තුළ නව්‍ය වූ චින්තනයක් ඇති කිරීමට  ජේසුතුමන් විඳි අනේක දුක්, කරදර පීඩා චිත්තරූපීව මියුරු ස්වරයෙන් ගයනා කරයි.  සංෂිප්තව බාලොලියේ  ගීතය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ජේසුතුමන්ගේ උපතේ පටන් ජීවිත කතාව මින් ඉදිරිපත්  කරන බව හඳුනාගන්න පුළුවන්. ඉතාමත් සාර්ථක මියුරු ගීතයකි බාලොලියේ ගීතය.

No comments:

Post a Comment

හීනය

  හීන දුරුත්තේ  හිරිපොද වැස්සේ  පාලු සැන්දෑවක  අඳුර මැදින්  නුඹේ සිනා මුව  හීන ගේනවා  ඈත දුරක මිය ඇදුන පෙමින්